සුවස් ඇළේ සිරවූ නෞකාව මුදා ගැනේ

මාර් 29, 2021

    සුවස් ඇළේ සිර වී තිබූ බහලුම් ප්‍රවාහන නෞකාව අද මුදා ගනු ලැබීය.

    නෞකාව සිරවීම හේතුවෙන්, ලොවපුරා නෞකා ගමනා ගමනයෙන් 30%කට අධික ප්‍රමාණයක් මුළුමණින්ම අඩාල විය. මෑත කාලයේ වාර්තා වූ ලොව විශාලතම නෞකා තදබදය මෙය බව වාර්තාවේ.

    ආර්ථික වශයෙන් සූවස් ඇළට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයක්. අප්‍රිකාව, මැද පෙරදිග සහ ආසියානු කලාපයෙන් වෙන් කරන ප්‍රධාන මාර්ගය මෙයයි. එය ආසියාව සහ යුරෝපය යා කරන කෙටිම ගමන්මඟයි. එම නිසා, භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට ද වැදගත්. සූවස් ඇළ මාර්ගය ගෝලීය වෙළෙඳාමෙන් 12%කට පමණ දායකවේ.

    තායිවාන සමාගමකට අයත් "එවර්ගිවන්" නෞකාව, නෙදර්ලන්තයේ සිට චීනය බලා ගමන් ආරම්භ කළේ, මෙට්‍රික් ටොන් ලක්‍ෂ දෙකක බහාලුම් තොගයක් ද සමඟයි. නෞකාවේ දිග අඩි 1,300ක්. එය, සූවස් ඇළ හරහා ගමන් කිරීමේදී අධික සුළඟකට සහ වැලි කුණාටුවකට හසුවීමෙන් අනතුරට පත්විය.

    පසුව, එය සූවස් ඇලේ සිරවීම නිසා ඇල මාර්ගය ඔස්සේ ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. නෞකාව මුදා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. ඒ සඳහා කුඩා යාත්‍රා 14ක් යොදා ගැණින. සුවස් ඇල ඉවුර පුළුල් කරමින්, එහි තැන්පත්ව තිබූ වැලි සහ මැටි ටොන් දහස් ගණනක් ඉවත් කෙරිණ.

    නෞකාවේ බර අඩුකර ගැනීම සඳහා එහි තිබූ බහාලුම් විසි දහසක් ඉවත් කිරීමට ද මුදාගැනීමේ කණ්ඩායම් ඊයේ ක්‍රියා කළේය. දින 6ක මෙහෙයුමකින් පසු, අද නෞකාව අර්ධ වශයෙන් නිවැරදි දිශානතියට යොමුකර තිබේ. ඒ අනුව නෞකාවේ පිහිටීම 80%කින් නිවැරදි දිශානතිය කරා යොමුකර ඇති බව වාර්තාවේ.

    එය මුළුමනින්ම යථා තත්වයට පත් කිරීමට තවත් සුළු කාලයක් ගතවනු ඇති බව මුදාගැනීමේ කණ්ඩායම් පවසයි. නෞකා 367කට පමණ ගමන් කිරීමට නොහැකිව සිර වී තිබේ. එම තදබදය නිම කිරීමට තවත් දින තුන හමාරක් පමණ ගතවනු ඇත.‍

    ඇල මාර්ගය අවහිරවීමෙන් දිනකට සිදු වූ පාඩුව, ඩොලර් බිලියන 9.06ක්. එය, ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් බව, විදෙස් වාර්තාවල සඳහන්. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ද ඉහළ ගොස් තිබේ.

    Latest News