කතරගම දේවාලයේ අවසන් මහ පෙරහර අද

ජූලි 23, 2021

    ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහර අද රාත්‍රී පැවැත්වෙනවා.

    එය රාත්‍රී 10.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. ඇසළ මංගල්‍යයේ දහතුන්වැනි පෙරහර රාත්‍රී වීථි සංචාරය කළා.

    කතරගම ඇසළ පෙරහර මංගල්‍ය ආරම්භ කෙරුණේ ඉකුත් 10 වැනි දිනයි. අද රාත්‍රී පැවැත්වෙන අවසන් පෙරහර කිරිවෙහෙර දක්වා ගමන් කරනවා. ඒ කතරගම දේවාලයට ලැබුණ පුදපඬුරුවලින් කොටසක් කිරිවෙහෙර සෑ රදුන් වෙත පූජා කිරීමේ චාරිත්‍රය ඉටු කිරීමටයි. කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් මෙහිදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව බස්නායක නිලමේවරයා විසින් පෙරහැර නිමා කිරීමේ චාරිත්‍රය ලෙස රාජාසන කතාව පවත්වනවා. පසුව කඳවුරු භාර නිලධාරිවරයා ගේ විශේෂ කතාවෙන් අනතුරුව පෙරහැර නැවත වරක් මහ දේවාල භූමියට පැමිණ වල්ලි අම්මා දේවාලය වෙත ගොස් මහා දේවාලයට පැමිණීමෙන් අවසන් වීමට නියමිතයි. හෙට උදෑසන මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රයෙන් පසුව කතරගම ඇසළ මංගල්‍යය නිමාවට පත්වෙනවා.

    Latest News