ශ‍්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අභිනව ගොඩනැගිල්ල විවෘත කෙරේ

පෙබ 17, 2019

    ඇතුල්කෝට්ටේ ශ‍්‍රී මහින්දාරාම විහාරස්ථායේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ පැවැත්විණි.

    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව විහාරාධිපති ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප‍්‍රධාන සංඝනායක, ශ‍්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහලේකම්, ශ‍්‍රාස්ත‍්‍රපති පූජ්‍ය මීගහතැන්නේ චන්ද්‍රසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක පිරිකර පූජා කර කෙටි පිළිසඳරක නිරත විය. අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැඟිල්ල සඟ සතු කොට පූජා කරන ලදී.

    විහාරස්ථානය ගොඩනැංවීමේහිලා පුරෝගාමී වූ ආදී කර්තෘන්ගේ ජායාරූප වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිතුමා එක් විය. කෝට්ටේ ශ‍්‍රී කළ්‍යානී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ පුණ්‍යෝත්සවයේ මුලසුන හොබවන ලදී.

    ජපන් ජාතිකයන් විසින් පවත්වාගෙන යනු ලබන ප‍්‍රජා සත්කාර පදනම් 05 ක් විසින් පිරිනමනු ලබන රුපියල් මිලියන 40 කට අධික මුදලක් වැය කරමින් ඉදිකර ඇති මෙම නව ගොඩනැගිල්ලේ සිසුන් 1500 ක පමණ පිරිසකට දහම් අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් දහම් පාසලක් පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරෙන අතර විවිධ පුහුණු වැඩසටහන් වෙනුවෙන් නිර්මාණය කළ රංග ශාලාවකින් ද ගොඩනැගිල්ල සමන්විතය.

    අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය යන මහත්වරුන් සහ විහාරස්ථ දායක සභාවේ සාමාජිකයන් සහ ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 20:19

    Latest News