වැසි සහිත කාලගුණයෙන් 7000ක් පීඩාවට

නොවැ 09, 2021

    දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15ක පවුල් 1,836කට අයත් 7,167 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 6ක් බවයි, වාර්තා වන්නේ.

    එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ, පීඩාවට පත් පවුල් 58කට අයත් 222 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 7ක රඳවා ඇති අතර තවත් පවුල් 157 කට අයත් 599 දෙනෙක් ඥාති නිවෙස්වල රඳවා ඇති බවයි.

    බදුල්ල, නුවරඑළිය, මාතලේ , මහනුවර, මුලතිව්, කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම, රත්නපුර, කළුතර, පුත්තලම, අනුරාධපුර, යාපනය, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට එම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබේ.

    මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයටයි. එම දිස්ත්‍රික්කයේ පවුල් 377 කට අයත් 1,621 දෙනෙක් පීඩාවට පත්ව සිටියි. එම දිස්ත්‍රික්කවල නිවාස 14 පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 796 කට අර්ධ හානි සිදුව තිබේ.

    Last modified on අඟහරුවාදා, 09 නොවැම්බර් 2021 08:34

    Latest News