තරුණ ලියෝ නායකයෝ 04ක් අගමැතිතුමා අතින් සම්මාන ලබයි....

දෙසැ 30, 2021

    ලොව විශිෂ්ට කුසලතා දක්වන තරුණ නායකයන් වෙනුවෙන් ජාත්‍යන්තර සිංහ සමාජ සභාපති විසින් පිරිනමන විශිෂ්ට නායකත්ව සම්මාන දිනාගත් තරුණ ලියෝ නායකයන් සිව් දෙනෙකුට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) දින අරලියගහ මන්දිරයේ දී එම සම්මාන පදක්කම් පැළැඳවිය.

    කොළඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක සහ රාජකීය විද්‍යාලයීය ලියෝ සමාජයේ බිනුජ අමරනායක, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක සහ ලියෝ සමාජයේ හිටපු සභාපති තරිඳු රණවීර, කොළඹ ආනන්ද විද්‍යාලයේ ලියෝ සමාජයේ හිටපු සභාපති සුනෙර ලැනරෝල් සහ හොරයිසන් විශ්ව විද්‍යාලයේ හිටපු ශිෂ්‍ය කමිටු නායක සහ කොළඹ නයිට්ස් ලියෝ සමාජයේ හිටපු සභාපති ඉඳුනිල් උදාර පලිහවඩන මෙසේ සම්මාන පදක්කම් හිමිකර ගත්හ.

    ලොව විශාලතම හා සක්‍රීයතම ස්වෙච්ඡා සංවිධානයක් වන ජාත්‍යන්තර සිංහ සමාජ සංවිධානය විසින් ලොව විශිෂ්ට කුසලතා දක්වන තරුණ නායකයින් සඳහා මෙම සම්මාන පදක්කම පිරිනමයි. ජීවිතයට එක් වරක් පමණක් පිරිනමන මෙම පදක්කම වසරක් වැනි කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලාංකිකයන් සිවු දෙනෙකුටම හිමිවීම විශේෂත්වයකි.

    ජාත්‍යන්තර සිංහ සමාජ සංවිධානයේ පෙර සිංහාධිපති සහ ලියෝ සමාජ භාර උපදේශක ලසන්ත ගුණවර්ධන මහතා මෙහි දී ජාත්‍යන්තර සිංහ සභාපතිගේ පළඳනාව අගමැතිතුමා වෙත පැළඳවිය. කොළඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක සහ රාජකීය විද්‍යාලයීය ලියෝ සමාජයේ බිනුජ අමරනායක සිසුවා විසින් මෙහි දී රාජකීය විද්‍යාලයේ ලියෝ සමාජය පළ කරන ලියෝ සඟරාව අගමැතිතුමාට පිරිනැමුවේය.

    ලොව ඉදිරියේ ශ්‍රී ලංකාවට අත්කර දුන් කීර්තිය අගය කළ අගමැතිතුමා සම්මාන පදක්කම් ලැබූ ලියෝ නායකයන් සමඟ සුහඳ කතාබහක නිරත විය. මෙම අවස්ථාවට ජාත්‍යන්තර සිංහ සංවිධානයේ පෙර සිංහාධිපති සහ ලියෝ සමාජ භාර උපදේශක ලසන්ත ගුණවර්ධන, පෙර සිංහාධිපති රසික ප්‍රියන්ත මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 දෙසැම්බර් 2021 19:02

    Latest News