විදුලිය විසන්ධි කිරීම ගැන රජය දැනුම් දෙයි

ජන 12, 2022

    අද (12) සිට ඉදිරි දින 10ක කාලයේ දී අවශ්‍යතාව මත රට පුරා විදුලිය විසන්ධි කිරීම් සිදුවනු ඇතැයි රජය පවසයි.

    කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිදුව ඇති බිඳවැටීම යථාවත් කිරීමට තවත් දින 10ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

    එබැවින් මෙලෙස විදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

    මේ අතර ඉදිරියේ දී අවශ්‍යතාවක් මතු වුවහොත් විදුලිය කප්පාදු කිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඊයේ (11) සිය වෙබ් අඩවියට නිකුත් කර තිබේ. ඒ අනුව සමස්ත රට ඒ, බී, සී, ඩී, (A, B, C, D) වශයෙන් කලාප 04කට බෙදා ඇති අතර සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනවල පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලයේ දී අවශ්‍යතාව මත පැයක කාලයක් බැගින් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

    ඉරිදා දිනයේ විදුලිය කප්පාදුව සිදුනොකෙරෙන බවද විදුලි බලමණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

    Latest News