මහවැලි රන්බිම ඔප්පු ප්‍රදානය ජනපති අගමැති ප්‍රධානත්වයෙන්....

පෙබ 26, 2022

    රට පාලනයේ දී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    එහෙත් ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකරන්නැයි ජනාධිපතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ අද (26) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරවුල් බිමක හිමිකම ජනතාවට උරුම කර දීම උදෙසා රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මකය. මේ වසරේ නිරවුල් ඔප්පු ලක්ෂයක් බෙදාදීමට සැලසුම් කර තිබේ.

    පළමු අදියර යටතේ නිරවුල් කළ ඔප්පු 35,000ක් මහවැලි කලාප 10ක ගොවි ජනතාවට ප්‍රදානය කෙරේ. ලබන වසර අවසන් වීමට පෙර මහවැලි ප්‍රදේශවල වෙසෙන ගොවි ජනතාවගේ සියලුම ඉඩම් ඔප්පු බෙදා අවසන් කිරීමට සැලසුම් කර තිබේ. ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ලැබීමෙන් පවුලේ සාමාජිකයන්ට උරුමය පැවරීම, සුරැකුමක් ලෙස මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේ හැකියාව ඇතුළු අවස්ථා රැසක් හිමිකරුවන්ට උදාවේ.

    රන්බිම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30දෙනෙකු සඳහා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් ඔප්පු ප්‍රදානය කෙරිණ. විදේශ විනිමය නොමැති වීම වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති ප්‍රධානම ගැටලුවකි. කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක හා විදෙස් රැකියා වලින් ලැබෙන විනිමය අහිමි වීම ඊට මූලික හේතුවකි. පෙර රජයන් ගත් ණය පොළී සමග ගෙවීමට සිදුව තිබේ. මේ ගැටලු තමාගේ හෝ රජයේ වැරදි මත සිදුවූවක් නොවන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    පවතින අභියෝග සඳහා මුහුණ දීමට විපක්ෂයත්, ජනතාවත්, රජයත් එක්ව වැඩකළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කඩාකප්පල්කාරී වැඩ වර්ජන, බොරු ප්‍රචාර ගෙන යාම වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකින් අපේක්ෂා නොකරන බව පැවසීය.

    වසර 20කට වඩා භුක්ති විඳි ඉඩමක නීත්‍යානුකූල හිමිකමක් නැතිව සිටි මහවැලි ජනතාව ඒ හිමිකම ලැබීමෙන් ලබන සතුට රජයටත් දැනෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කරනු ලැබීය.

    රසායනික පොහොර ගෙන්වීම සීමා කිරීමත් සමග විප්ලවවාදීන් යැයි කියාගන්නා පක්ෂ ගොවි ජනතාව පාරට බැස්සූ බවත් වගා කළ කුඹුරුවලට ගිනි තබමින් භෝග විනාශ කරමින් කළ උද්ඝෝෂණ ගොවියාට ආදරයෙන් කළ ඒවා නොව දේශපාලන වාසි ගැනීමට  කළ ඒවා බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    හිමිකම් ඔප්පු ලබාදීමෙන් පමණක් මහවැලි ගොවි ජනතාවගේ සියලු ගැටලු විසඳෙන්නේ නැති බවත් ජාතික අවශ්‍යතාවය දෙස බලා සෑම බිම් අගලක්ම වගා කිරීමට කටයුතු කිරීමේ යුතුකම ද ගොවි ජනතාව සතු බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. මහවැලි කලාපයේ තුන්වැනි පරම්පරාව ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වගකීම වෙනුවෙන් රජය පෙනී සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

    මහවැලි කලාපවල ගොවීන්ගේ ඉඩම් පමණක් නොව ජීවිත අහිමි වීමට ගිය යුගය වෙනස් කළේ රාජපක්ෂවරුන් බවත් වැව්, අමුණු සශ්‍රීක කරමින් මහවැලියට ජීවය දීමට කන්න දෙක පමණක් නොව තුන්වෙනි කන්නයක් සඳහා අතිරේක භෝග වගාවට පහසුකම් ද සැලසීමට රජය කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසීය.

    කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News