රුපියල් මිලියන 144ක නීති විරෝධී දුම්වැටි විනාශ කෙරේ...

අප්‍රේ 02, 2022

    නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි මිලියනයකට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ විනාශ කෙරුණා.

    ඒ, ශ්‍රී ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේදී. දුම්වැටි තොගය විනාශ කෙරුණේ, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ අධීක්ෂණය යටතේ. නීති විරෝධීව චීනයෙන් මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 144ක් පමණවනවා. ඒවා බහාලුම් 02ක සඟවා තිබුණි.

    නීති විරොධී අයුරින් දුම්වැටි විවිධ ක්‍රම ඔස්සේ මෙරටට ගෙන ඒම ඉකුත් වසර කිහිපය තුළ ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, ගෝලීය නීති විරෝධී දුම්වැටි වෙළඳාමේ ප්‍රමුඛ ඉලක්කයක් බවට ද මෙරට පත්ව තිබෙනවා. 2021 වසරේ මෙරට තුළ පරිභෝජනය කරන ලද දුම්වැටිවලින් 21%ක් නීති විරෝධී ඒවා බව, මෙරට පර්යේෂණ බුද්ධි ඒකකය ඉකුත් ජනවාරි මස එළි දැක්වූ වාර්තා මගින් හෙළිදරව් කෙරුණා.

    2012 වසරේ 10%ක්ව පැවති නීති විරෝධී දුම්වැටි පරිභෝජනය මේ වන විට 21%ක් දක්වා ක්‍රමයෙන් වැඩිවී තිබෙනවා. එසේම එමගින්, රුපියල් බිලියන 27ක පමණ මූල්‍ය අලාභයක් රටට සිදුවන බවයි, එම වාර්තාවේ දැක්වෙන්නේ. නීති විරෝධී ලෙස මෙරටට දුම්වැටි රැගෙන ඒම වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා රේගුව අවධාරණය කරනවා.

    Latest News