ගාලුමුවදොර අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කෙරේ...(වීඩියෝ)

අගෝ 12, 2022
  • ගාලුමුවදොර උද්ඝෝෂණ භූමියේ කූඩාරම් ඇතුළු අනවසර ඉදිකිරීම් සියල්ල අද පස්වරුව වන විට ඉවත් කර ගැනුණා.

     

    අප වාර්තාකරු සඳහන් කළේ, කූඩාරම් කිහිපයක රැඳී සිටි පුද්ගලයන් ද භූමියෙන් ඉවත්ව ගිය බවයි. පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමග නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අද පෙරවරුවේ උද්ඝෝෂණ භූමිය වෙත ගොස් සියලු කූඩාරම් අද දින ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන්නා.
    අනතුරුව, පෙරවරු 11.45 ට පමණ ශබ්ද විකාශන මගින් පොලිසිය කියා සිටියේ, සියලු පුද්ගලයන්ට භූමියෙන් ඉවත් වීමට පැයක පමණ කාලයක් ලබා දෙන බවයි. එහිදී අරගලකරුවන්ගේ කූඩාරම්වල රැඳී සිටි පිරිස්, ඉදිකිරීම් ඉවත් කර ගැනීම වේගවත් කිරීමට පියවර ගත්තා. එම කටයුතුවලට පොලිසිය ද සහය වුණා.
    මේ අතර කූඩාරමක සිටි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියදීම පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කූඩාරම්වල සිටි ඇතැම් පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බවට වන සාක්ෂි ද හමු වූ බවයි, පොලිසිය පවසන්නේ.
    කෙසේ වුවද, දහවල් 1.30 පමණ වන විට සියලුම තාවකාලික ආවරණ ඉවත් කෙරුණු බව, අප වාර්තාකරු සඳහන් කළා. උද්ඝෝෂණ භූමියේ අවසන් වරට රැඳී සිටි පුද්ගලයන් කිහිපදෙනා ද පිටව ගොස් තිබෙනවා. දින 125 ක කාලයක් මෙම උද්ඝෝෂණ භූමියේ අරගලකරුවන් ඇතුළු පිරිස් රැඳී සිටියා.

    Latest News