ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව සාමාජිකයෙක්....

අගෝ 13, 2022

    ඩෝනියර් - 228 වර්ගයේ සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානාවක් ලබන 15 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වනවා.

    මෙය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සබඳතාවල ප්‍රතිඵලයක්.  නවදිල්ලි නුවරදී 2018 වසරේ පැවති දෙරටේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් අතරතුරදී,  ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඩෝනියර් වර්ගයේ යානා 02ක් ලබාගැනීමේ හැකියාව පිලිබඳව අවධානය යොමුවී තිබෙනවා. 

    ශ්‍රී ලංකා රජ‍යේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය, එරට නාවික හමුදාවට අයත් ඩෝනියර් - 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ආරම්භක වසර 02ක් සඳහා නොමිලේ ලබාදීමට එකඟවුණා.  ඒ, නවතම ගුවන් යානයක් නිෂ්පාදනය සඳහා වසර 02ක පමණ කාලයක් අවශ්‍ය බැවින්.  එම දෙවසර අවසානයේදී නවතම ‍ඩෝනියර් නිරීක්ෂණ යානයක් නොමි‍ලේ ලබාදීමට ඉන්දියාව සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. 

    ශ්‍රී ලංක රජය අන්‍යෝන්‍ය වශයෙන් එකඟවූ නියමයන් සහ කොන්දේසි මත තවත් ගුවන් යානයක් ද ලබාදීමට නියමිතයි.  ඩෝනියර් -228 යානා කෙටි ගුවන් ධාවන පථයක් මත ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් සඳහා විශේෂිත වූ හැකියාවකින් සමන්විතයි.    “‍ටර්බෝප්‍රොප්” වර්ගයේ ද්විත්ව එන්ජින් සහිත බහුකාර්ය සැහැල්ලු ප්‍රවාහන යානයක් ලෙසද මෙය හැඳින්වෙනවා. 

    මෙවැනි යානා 1981 සිට ජර්මනියේ නිෂ්පාදනය කෙරුණා.  පසුව හින්දුස්ථාන් ගුවන්යානා සමාගම ජර්මනියේ ඩෝනියර්  බලපත්‍රය යටතේ මෙම ගුවන් යානා නිෂ්පාදනය කරනු ලබනවා.   ප්‍රථම සමුද්‍රීය නිරීක්ෂණ යානය ලබන 15වැනිදා ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත කටුණායකදී නිල වශයෙන් භාරදීමට නියමිතයි.  ඉන්දියාවේදී මාස 04ක විශේෂ පුහුණුවක් ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන්, ඉංජිනේරුවන්, නිරීක්ෂකයන් සහ තාක්ෂණික ශිල්පීන්ගෙන් සමන්විත 15 ‍දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යටතේ ඩෝනියර් - 228 යානයේ පියාසැරිය සහ නඩත්තු කටයුතු සිදුකෙරෙනු ඇති. 

    ශ්‍රී ලංකා ගුවන් සීමාව හා අනන්‍ය මුහුදු කලාපය තුළ මෙම යානය යොදාගනිමින්, සමුද්‍ර සහ වෙරළ නිරීක්ෂණ මෙහෙයුම්, සෙවීමේ සහ මුදාගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්, සමුද්‍ර දූෂණ පාලනය කිරීමේ කටයුතු සඳහා දක්වන දායකත්වය පුළුල් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපේක්ෂා කරනවා. 

    Latest News