අග්‍රාමාත්‍යවරයා සහ කොරියානු තානාපති අතර හමුවක්...

අගෝ 17, 2022

    ‍‍ශ්‍රී ලංකාව තුළ කොරියානු ආයෝජන වැඩි කර ගැනීම සඳහා නව වීසා රෙගුලාසි ක්‍රමවේදය උපකාරී වනු ඇතැයි, එරට තානාපති සන්තුෂ් වුන්ජින් ජියෝන්ග් මහතා පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග අද පැවැති හමුවකදී. හමුව පැවැත්වුණේ, කොළඹ - අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී. රජය ක්‍රියාත්මක කර ඇති නව පහසු වීසා ක්‍රමවේදය ශ්‍රී ලංකාවට, කොරියානු ආයෝජකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට උපකාරී වන්නක්. 1980 දශකයේ දී ශ්‍රී ලංකාවට වැඩිම අයෝජනයක් සිදු කළ රට බවට පත්ව සිටි කොරියාවට යළි එම තත්වයට පත් වීමේ අවකාශය ඇතැයි, තානාපතිවරයා සඳහන් කළා‍.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහි   දී කියා සිටියේ, පුනර්ජනනීය බලශක්තිය, වාරිමාර්ග, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය, ඖෂධ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය ආදි අංශයන්හි කොරියානු නව ආයෝජන සඳහා අවකාශ  පවතින බවයි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන, ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වෙ‍ළඳපොළට අලෙවි කිරීමේ හැකියාවක් පවතින බවද, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. දෙරට අතර, තානාපති සබඳතාවල 45 වැනි සංවත්සරය නිමිත්තෙන් විවිධ ක්‍ෂේත්‍රයන් හි වැඩමුළු සහ කොරියානු චිත්‍රපට ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට  අපේක්ෂා කරන බවත්, තානාපතිවරයා ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News