ලොව පුරා ජනතාවගෙන් දෙවන එළිසබෙත් රැජිනට උපහාර...

සැප් 10, 2022

    ලොව පුරා ජනතාව දෙවන එළිසබෙත් රැජිනට උපහාර පුද කරමින් සිටිනවා.

    බකින්හැම් මාළිගය මෙන්ම බැල්මෝර් මාළිගයේ ගේට්ටු අසල මල් කළඹ තබමින් සහ ඉටි පන්දම් දල්වමින් ඔවුන් සිය ශෝකය පළ කරමින් සිටින බව, විදෙස් වාර්තාවල සඳහන්.  ලොව පුරා ජනතාව විවිධ රාජ්‍යයන්හි ස්ථාපිත බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලවල සහ දේවාස්ථානවලදී අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිනට උපහාර දක්වන අයුරු දැක ගත හැකියි.

    ඒ වෙනුවෙන්, බකින්හැම් මාළිගය අසළට දහස් සංඛ්‍යාත පිරිසක් එක් රැස් වෙමින් සිටිනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඊයේ රැස්වූ අතර එහිදී මන්‍ත්‍රීවරුන් තම ශෝකය පළ කළා. හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාවරුන් වන තේරේසා මේ, බොරිස් ‍ජොන්සන් සහ වත්මන් අග්‍රාමාත්‍ය "ලීස් ‍ට්‍රස්" මහත්මිය එම අවස්ථාවේදී‍ ශෝක පණිවුඩ නිකුත් කළා. දෙවන එළිසබෙත්  රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවාස්ථානයේ සීනු නාද කෙරුණා. එක්සත් රාජධානිය පුරා ඇති මාළිගාවල මෙන්ම ආචාර වෙඩි මුරද පැවැත්වුණා.  

    මේ අතර, ස්කොට්ලන්තයේ බැල්මොර් මාළිගයෙන් නික්ම ගිය, තුවන් වන චාල්ස් රජු ඇබ්ර්ඩීන් ගුවන්තොටුපො‍ළේ සිට ලන්ඩනයේ රාජකීය ගුවන් හමුදා ස්ථානයට පැමිණියා. චාල්ස් රජු සහ කැමිලා බිසව මෝටර් රථ පෙළපාලියකින් බකිම්හැම් මාළිගය වෙත ගමන් කළා. චාල්ස් රජු දැක බලා ගැනීමට විශාල පිරිසක් මග දෙපස රැස්ව සිටි අතර, ඔවුන් එහිදී රජුට තම ආචාරය පුද කළා. බකිම්හැම් මාළිගයට පැමිණි තුන්වන චාල්ස් රජු රැස්ව සිටි ජනතාව අතරට ගොස්, අතට අත දී ආචාර දැක්වීම විශේෂත්වයක්. අනතුරුව, එක්සත් රාජධානියේ රජු වීමෙන් පසු ජාතිය අමතා පළමු කථාව සිදු කෙරුණා. එහිදී රජු සඳහන් කළේ, සිය මව යහපත් ජීවිතයක් ගත කළ බවයි. රැජින මෙතෙක් කාලයක් භක්තියෙන් සිදු කළ කාර්ය භාරය මෙන්, තමා ද ව්‍යස්ථාපිත ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට ඉදිරි කාලය පුරාම කැපවන බවට චාල්ස් රජු එහිදී ප්‍රතිඥා දුන්නා. රැජිනගේ අභාවය හේතුවෙන් මතක අවර්ජනය කිරීමේ දේව මෙහයක් ලන්ඩන් නගරයේ ශාන්ත පාවුලු දෙව් මැදුරේදී ඊයේ පැවැත්වුණා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය "ලිස් ට්‍රස්" සහ ලන්ඩන් නගරාධිපති "සඩික් ඛාන්" එම අවස්ථාවට එක්ව සිටියා.

    Latest News