සංචාරක කර්මාන්තයේ දියුණුවට අය-වැයෙන් සහන

මාර් 15, 2019

    දේශීය ආර්ථිකයේ වර්ධනය සඳහා කෙටි කලකින් ඉහළ දායකත්වයක් ලබාගත හැකි ක්‍ෂේත්‍රයක් වන්නේ සංචාරක කර්මාන්තයයි.

    ඊට ආවේනික තත්වයන් හඳුනා ගනිමින් ජාතිය ගොඩනැගීමේ බද්ධ ඉවත් කිරීමට මෙවර අය-වැයෙන් පියවර ගැනුණා. ඒ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සඳහා වූ විදේශ ව්‍යාපාර මත පනවා ඇති ආදායම් බද්ද ඉවත් කරමින්.

    අන්තර් ජාලය භාවිත කරමින් හෝටල් පහසුකම් වෙන් කරවා ගැනීමේ ක්‍රමවේදයේ ඇති වාසි කෙරෙහි මෙවර අය-වැයෙන් අවධානය යොමු කෙරිණ. එබැවින් සංචාරක ක්‍ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ක්‍රමයෙන් විධිමත් ආර්ථික ක්‍රියාවලියට අවතීර්ණ කරවීමේ අවශ්‍යතාව රජය හඳුනාගත්තා. ඒ අනුව, 2020 අප්‍රේල් පළමු දිනෙන් පසුව අන්තර් ජාලය ඔස්සේ නවාතැන් පහසුකම් වෙන් කිරීමට අවසර ලබා දෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කාමර 5කට වඩා වැඩි හෝටල් හා එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන සඳහා පමණි.

    අය-වැයේ තවත් යෝජනාවක් වූයේ, ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය වැනි නව මාන කරා විවිධාංගීකරණය කිරීමයි. ඒ යටතේ, අන්තර් ජාතික ගෝකාට් තරග පැවැත්වීමේ හිතකර ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනුණා. මේ සඳහා පෞද්ගලික අංශය දිරිමත් කෙරේ. ගෝකාට් හෝ ගෝකාට් ටයර් මත පනවා ඇති රේගු බද්ද හා සෙස් බද්ද ඉවත් කෙරිණ.

    අපනයන ක්‍ෂේත්‍රයට අදාළ වන 14%ක සමාගම් හා ආදායම් බදු ප්‍රතිශතයට යටත්වන අංශවලට අදාළ වූ ආර්ථික සේවා ගාස්තු 0.5% සිට 0.25% දක්වා අඩු කෙරිණ.
    එය සංචාරක ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා විශාල පිටිවහලක්. හෝටල් නවීකරණය සඳහා සහය ලබාදීමට තෝරාගත් අයිතම කිහිපයක් මත අය කෙරෙන සෙස් බද්ද අඩු කෙරිණ. සංචාරක ආකර්ශනය පවත්වා ස්ථානවල දැනට අසතුටුදායක තත්වයේ පවතින පොදු පහසුකම් වැඩි දියුණු කෙරේ.

    ඊට අවශ්‍ය අරමුදල් සැපයෙන්නේ, මධ්‍යම සංස්කෘතික අරමුදලයි. මේ වසරේ ජුනි මස පළමුවැනිදා සිට බල පැවැත්වෙන පරිදි විදේශ සේවා සංචාරකයින් අතුරින් ශිෂ්‍ය අනන්‍යතාවක් සනාථ කළ පුද්ගලයින් හා අවුරුදු 18ට අඩු පුද්ගලයින්ගෙන් ජාතික උද්‍යාන සහ සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන සඳහා අයකරන ඇතුළත්වීමේ ගාස්තුව සියයට 50කින් අඩු කිරීමට ද මෙවර අය-වැයෙන් යෝජනා කෙරිණ.

    Last modified on සිකුරාදා, 15 මාර්තු 2019 20:25

    Latest News