කැබලිත්ත රක්ෂිතය කපා හෙළි කිරීමට එරෙහි පෙත්සම

ඔක් 04, 2022

    වන අපරාධකරුවන්ගෙන් කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම් ඇතුළු රජයේ බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද අවසර ලබා දුන්නා.

    ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ආරක්ෂක ලේකම්, පොලිස්පති, වන සංරක්ෂණ විෂයභාර අමාත්‍යවරයා, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පාර්ශවයන්ට නොවැම්බර් මස 3 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කළා.

    පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෑතකදී කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපයට කඩාවැදුණු පිරිස් එහි සිටි වනජීවී නිලධාරීන්ට පහරදී නීති විරෝධී ආකාරයෙන් වනාන්තර හෙළි කිරීමට කටයුතු කර ඇති බවයි.

    මෙම නිති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් මේ දක්වා ගෙන නොමැති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

    එබැවින් වන අපරාධකරුවන්ගේ තර්ජනවලට මුහුණ පා සිටින කැබලිත්ත රක්ෂිත වනාන්තරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වගඋත්තර කරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News