අපවත් වී වදාළ අටමස්ථානාධිපති නාහිමිගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව...

ඔක් 19, 2022

    අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඊයේ (18) රාත්‍රී අපවත් වුණා.

    69 වැනි වියේ පසු වූ උන් වහන්සේ, අසනීප තත්වයක් හේතුවෙන් දින කිහිපයක් රෝහල්ගතව සිටියා. උන්වහසේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමා විසින් අමාත්‍ය විදුර වික්‍රමනායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබ තිබෙනවා.  

    1953 ජනවාරි 02 වැනි දින මාතලේ පල්ලේගම ග්‍රාමයේදී උපත ලද කුලකුමරු පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් නමින් පැවිදි දිවියට එළඹුණේ, 1968 වසරේදී. අනතුරුව, උන්වහන්සේ මහා විහාර පිරිවෙනෙන් භික්ෂු අධ්‍යාපනය හදරා තිබෙනවා. කොළඹ මාලිගා කන්ද විද්‍යෝදය මහා පිරිවෙන හා සඳලංකා ශාස්ත්‍රෝදය පිරිවෙනෙන්ද අධ්‍යාපනය හැදෑරූ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් 1975 වසරේදී උපසම්පදාවට පත් වුණා.

    සිරිනිවාස හිමියන් සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයෙන්. රුවන්වැලි මහා සෑයේ වැඩබලන විහාරාධිකාරී හිමියන් ලෙසත්, මිරිසවැටිය චෛත්‍යාරාමයේ විහාරාධිකාරී හිමියන් ලෙසත්, අභයගිරිය විහාරයේ විහාරාධිපති ලෙසත් වැඩ බැලූ උන් වහන්සේ 1995 වසරේදී රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී ධුරයට පත් වුණා. එම වසරේදීම, සිරිනිවාස හිමියන් උතුරු මධ්‍යම ‍‍දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් කෙරුණා.

    එවක අටමස්ථානාධිපති ධුරය හෙඹ වූ පූජ්‍ය පල්ලේගම ඥානරතන හිමියන්ගේ අපවත්වීමෙන් පසු එම ධුරයට පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් පත් කෙරුණේ, 1997 වසරේදී. 44 හැවිරිදි වියෙහිදී එම පදවියට පත් ලාබාලතම භික්ෂූන් වහන්සේ වූයේ ද සිරිනිවාස හිමියන්. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් දෙවැනි රන් වැට ඉදිකිරීම, එම රන් වැටට පහතින් පිහිටි මළුව පුළුල් කොට ආරක්ෂක ගේට්ටු සවි කිරීම හා බෝධීන් වහන්සේ වටා පිහිටි ශ්‍රී දළදා පෙරහැර මාවත නවීකරණය කිරීම, මහා ප්‍රාකාර බැම්ම ප්‍රතිසංස්කරණය, දසදහසකට අධික පිරිසකට රැස්විය හැකි මහා ධර්ම ශාලාව කරවීම ඇතුළු ශාසනික සේවා රැසක් උන්වහන්සේගේ මූලිකත්වයෙන් ඉටු කර තිබෙනවා.  

    පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ දේහය මේ වන විට කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. අද (19) දහවල් දේහය අනුරාධපුරය බලා රැගෙන යාමට නියමිතයි. අපවත් වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පිළිබඳ සාකච්ඡාවක් අද (19) උදේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් බෝමළුව විහාරස්ථානයේදී පැවැත්වුණා.

    Last modified on බදාදා, 19 ඔක්තෝබර් 2022 13:29

    Latest News