ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා 5 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවතට.

අප්‍රේ 22, 2023

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා 5 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇත්තේ, ඒවාට අවශ්‍ය එන්ජින් ලැබෙන තෙක් බව, එම ගුවන් සේවය නිවේදනය කරනවා.

    ලොව පුරාම මෙවැනි වර්ගයේ ගුවන්යානාවල මතුවී තිබෙන තාක්ෂණික දෝෂ හේතුවෙන් සමස්ත ගුවන් සේවා ක්‍ෂේත්‍රයම එන්ජින් හිඟයකට මුහුණ දී සිටින බවයි, එම නිවේදනයේ දැක්වෙන්නේ.  ‍‍ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන්යානා 5ක් භාවිතයෙන් ඉවත්කර ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සමාගම කරුණු පැහැදිලි කර තිබෙනවා. අදාළ ගුවන්යානා එයාර් බස් "A 320 නියෝ" යන කාණ්ඩයට අයත් වන අතර, ඒවා එන්ජින් ලැබෙන තුරු තාවකාලිකව භාවිතයෙන් ඉවත්කර තිබෙනවා.

    එන්ජින් අලුත්වැඩියාව සඳහා දිගු කාලයක් ගතවන තත්වයක් ද උදා වී ඇතැයි, නිවේදනයේ සඳහන්. මේ ගැටලුවට විසඳුම් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සැපයුම්කරුවන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉදිරි මාසවලදී එන්ජින් සැපයුම යථාතත්වයට පත් වනු ඇතැයි, යන්න ගුවන් සමාගමේ ‍අපේක්ෂාපවයි. ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු මෙම ගුවන් යානා තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇත්තේ, ගෝලීය වශයෙන් පවතින අමතර කොටස් හිගයක් නිසා වන අතර, මුදල් හිඟයක් ඊට හේතු වී නොමැති බවද ගුවන් සමාගම අවධාරණය කරනවා.

    Latest News