අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගවයන් අතර ගැටිති රෝගයක්

අප්‍රේ 22, 2023

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ එළ ගවයන් අතර ‍මේ දිනවල ගැටිති රෝගයක් පැතිර යමින් පවතිනවා.

    පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් කිරි කර්මාන්තය අවදානමකට ලක්ව ඇති බවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොට්ඨාස 16 ක ගොවිපොළ 2,000 ක පමණ එළ හා මී ගවයන් අතර, මෙම ගැටිති රෝගය දැක ගත හැකියි. එම නිසා දෛනිකව කිරි කර්මාන්තයේ නිරත කිරි ගොවීන් පත්ව සිටින්නේ, දැඩි අර්බුදයකටයි.

    සාමාන්‍ය ප්‍රමාණයේ ගැටිති, සම මතුපිට හට ගෙන එම එම ගෙඩි විශාල වී පුපුරා ගොස් එම තැන්වලින් ලේ සහ සැරව ගලා යාම මෙම රෝගයේ ලක්ෂණයයි. රෝගය වැළඳුනු ගවයින් දින ගණනාවක් නිරාආහාරව සිටින බැවින්, සතුන්ගේ වර්ධනය ද අඩු වී ඇති බව, කිරි ගොවීන් පෙන්වා දෙනවා. දෛනිකව කිරි ලීටර 10 ක් පමණ ලබා ගත් ගොවීන්ට, මේ රෝගය හේතුවෙන්, මේ වන විට ලබා ගැනීමට හැකිව ඇත්තේ, කිරි ලීටර 3 ක පමණ ප්‍රමාණයක් පමණයි.

    රෝගය පිළිබඳව උතුරු මැද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂ කාර්යාල මගින් පරීක්ෂණ සිදු කර තිබෙනවා. අදාළ ගවයින්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබුණ ද රෝගය තවමත් ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනු දැක ගත හැකියි. පශු වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ, මෙම රෝගය වැළැඳුනු ගවයන්ගේ මාංශ මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොමැති බැවින්, ඒවා, ආහාරයට ගැනීමෙන් වැළකී සිටින ලෙසයි.

    Latest News