ප්‍රතිත්‍රස්ත පනත ගැන ඇමති මහ නාහිමිවරුන්ට පහදයි

අප්‍රේ 22, 2023

    ප්‍රතිත්‍රස්ත පනතේ අන්තර්ගතය හා එය ගෙන ඒමේ අරමුණ පිළිබඳව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මල්වතු සහ අස්ගිරි මහ මහනාහිමිවරුන් වෙත පැහැදිළි කළා.

    ඔහු ඒ සඳහා ඊයේ මල්වතු මහ විහාරයට සහ අස්ගිරි මහ විහාරයට පැමිණියා. අමාත්‍යවරයා, පළමුවෙන් මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක පනත පිළිබඳව සාකච්ඡාවක නිරත වුණා. අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ, ත්‍රස්ත විරෝධී පනත දැනට කෙටුම්පත් කර තිබෙන ප්‍රතිත්‍රස්ත පනත මෙන්, දස ගුණයකින් පමණ ප්‍රබල බවයි.

    එම පනත ක්‍රියාත්මක කරද්දී, ඇමති ධුර දරමින් සිටි අය, අද නව පනතට එරෙහිවීම තුළින්, ඔවුන්ගේ අරමුණ කුමක් ද යන්න තේරුම් ගැනීමට අසීරු නොවන බව ද අධිකරණ අමාත්‍යවරයා මහ නාහිමියන් හමුවේ සඳහන් කළා.  අනතුරුව අමාත්‍යවරයා, අස්ගිරි මහ විහාරයට ගොස් අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් බැහැදැක මේ පිළිබඳව දැනුවත් කළා.

    ඔහු මෙහිදී කියා සිටියේ, 2015 වසරේ සිදු වූ ආණ්ඩු මාරුවෙන් පසු පාස්කු දින ප්‍රහාරය තෙක්ම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, කිසිවෙකුත් අත්අඩංගුවට නොගත් බවයි. ප්‍රභාකරන්ගේ රට දෙකඩ කිරීමේ උත්සහය පරාජයට කිරීමට හැකි වූයේද, මෙම පනත නිසා බව අවධාරණය කෙරුණා. එසේ නොතිබෙන්නට, ශ්‍රී ලංකා රාජ්‍යෙයේ කොටසක් ප්‍රභාකරන්ගේ අණසක යටතේ පවතින්නට තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

    රටේ සම්පත් මෙන්ම, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීභාවය ආරක්ෂා කළ නොහැකි ආණ්ඩුවකින් පළක් නොවන බව සඳහන් කළ විජේදාස රාජපක්ෂ මහතා, ජනමාධ්‍ය හා වෘත්තිය සමිති මර්දනයට නව පනත ඔස්සේ ආණ්ඩුව උත්සහ දරන බවට කෙරෙන ප්‍රකාශ සත්‍යයෙන් තොරව බව ද අවධාරණය කළා. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ද එක්ව සිටියා.

    Latest News