ශ්‍රීපාද වන්දනා වාරය වෙසක් පොහොය දිනෙන් අවසන්

අප්‍රේ 22, 2023

    2022 – 2023 වසර සඳහා වූ ශ්‍රීපාද වන්දනා වාරය එළඹෙන වෙසක් පොහොය දි‍නයෙන් අවසන් කරන බව, ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය ‍බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසනවා.

    ඒ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් ඊයේ පැවැත්වුණා. රැස්වීම පැවැත්වුණේ, නල්ලතන්නිය, ග්‍රාම නිලධාරී කාර්යාලයේදී. වෙසක් පොහොය අවසන් වන තෙක් ශ්‍රීපාදස්ථානය කරුණා කිරීමේ හැකියාව පවතිනවා. ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ ලබන 6 වැනිදා පෙරහැරවල් 4 කින් ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතයි.

    අවාරයේදී හැටන් මාර්ගය ඔස්සේ, දිවා කාලයේදී පමණක් ශ්‍රීපාදය කරුණා කිරීමට වන්දනාකරුවෙකුට අවශ්‍ය නම් ඒ සඳහා නල්ලතන්නිය පොලිසියේ ‍ලියාපදිංචි වී, එය සිදු කරන ලෙස, ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් පවසනවා. හැකිතාක් දුරට අවාරයේදී ශ්‍රීපාදය කරුණා කිරීමෙන් වළකින ලෙසයි, උන්වහන්සේ ඉල්ලා සිටින්නේ. ශ්‍රීපාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු හෝ පරිසර වැඩසටහන් අවසරයකින් තොරව සිදු නොකරන ලෙසද, ඉල්ලා සිටිනවා.

    Latest News