අගමැතිගේ 70 වැනි ජන්ම දිනය අද

මාර් 24, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි ඡන්ම දිනය අදට යෙදී තිබේ.

    මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම හා අත්දැකීම් බහුලතම පරිනත දේශපාලඥයෙකු ලෙසයි, රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්වෙන්නේ. 1949 මාර්තු 24 වැනිදා උපන් රනිල් වික්‍රමසිංහ මහතා, කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා. උසස් පෙළ හා ලන්ඩන් උසස් පෙළ විභාගවලට පෙනී සිටි ඔහු 1967 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුලත් වුණා. 1970 දී නීතිවේදී අවසන් විභාගයට පෙනී සිටි වික්‍රමසිංහ මහතා අධිනීතීඥවරයෙකු ලෙස දිවුරුම් දෙන විට 23 හැවිරිදි තරුණයෙක්. අනතුරුව, සිය දේශපාලන ගමන 1977 දී ආරම්භ කළ ඔහු එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ ලාබාලතම මන්ත්‍රීවරයා වුණා.

    එතැන් සිට පස් වතාවක් රටේ අගමැති ධූරයට පත්වූ වික්‍රමසිංහ මහතා විවිධ අමාත්‍යධූර රැසක් ද හොබවනු ලැබුවා. ඒ අතර, අධ්‍යාපන, යෞවන කටයුතු හා රැකී රක්ෂා, කර්මාන්ත හා විද්‍යා තාක්ෂණ යන අමාත්‍යධුර ද වෙයි. 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව පන් ලක්ෂ 566ක්. එය මෙතෙක් පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප සංඛ්‍යාවයි. එමෙන්ම, ලොව වැඩිම වාර ගණනක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ වික්‍රමසිංහ මහතා තබන ලද එම වාර්තාව සුවිශේෂී වාර්තාවක් වනවා. තුන්වන ලෝකයේ රටවල් අතරින් ප්‍රථම වරට සූක්ෂම විද්‍යා තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රයට එක්කළේ ඔහුගේ පාලන සමයේදී. ක්‍රීඩා වාර්තා 188ක් පිහිටවූයේ වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී. ශාරීරික අභ්‍යාස ගුරුවරු බඳවා ගැනීම හා තරුණ - තරුණියන් 16 දහසකට විධිමත් ගුරු පුහුණුවක් අනතුරුව ක්‍රීඩා ගුරු පත්වීම් ලබාදීමට ද ක්‍රියා කළා.

    ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ආරම්භ කළේ ද වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනූවයි. තරුණ සේවා සභාව, යොවුන් පුරය, බෙල්වුඩ් රූපවාහිනී ගම්මානය, වික්‍රමසිංහ මහතාගේ සංකල්ප වනවා. අන්තර්ජාතික දේශපාලනයේ පරිණත අත්දැකීම් ඇති රනිල් වික්‍රමසිංහ මහතා කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වනවා. ශ්‍රී ලංකාව වෙළෙඳ පොළ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට ඔහු ඉදිරිපත් කළ සංකල්ප බෙහෙවින් ඉවහල් වුණා. ඒ අතර, ආයෝජන ප්‍රවර්ධන කලාප මූලික සාධකයක්. දකුණු ආසියානු, ආසියන් හා යුරෝපා වෙළෙඳපොළ ජයගැනීමට වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ වී-2025 වැඩසටහන මෙරට ආර්ථිකයේ තවත් සන්ධිස්ථානයක් වනු නිසැකයි.

    Last modified on ඉරිදා, 24 මාර්තු 2019 11:44

    Latest News