‘වැඩි මිලට ගත් පිළිකා එන්නත් තොගයක් තහනම් කළා’

මාර් 26, 2019

    බහුජාතික සමාගමකින් වැඩි මුදලකට මිලදී ගත් පිළිකා එන්නත් තොගය තහනම් කිරිමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (25) මාතලේ දී පැවසිය.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වැනි ඔසුසල මාතලේ නගරයේ දී විවෘත කිරීමෙන් පසු පැවැති ජනහමුව අමතමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් බහුජාතික සමාගමකින් මිලදී ගන්නා පියයුරු පිළිකා එන්නත් මිලදී ගැනීම නතර කරන ලෙසට තමන් උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා පැවසීය.

    ඉදිරියේ දී ඖෂධ නාමයෙන් පමණක් ඖෂධ ලිවීම අනිවාර්ය කිරීමේ නියෝගය ලබාදෙනවා. ඒ සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග සාකච්ඡා කර තිබෙනවා. ඖෂධ නාමයෙන් ඖෂධ ලිවීම විදේශීය රටවල සිදු කිරීමට හැකි නම් ලංකාවට ඇයි බැරි. මෙවැනි හොරකම් කමයි ඖෂධ වෙළෙදපොලේ තිබෙන්නේ. මෙම ඖෂධ ජාවාරම් මගින් මුදල් හම්බ කළ අයට විශාල පාඩුවක්. ඇතැම් වෛද්‍යවරුන්ට සමාගම් මුදල් ලබාදෙනවා.

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැති බන්දුල යාලේගම මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ හිටපු සංවිධායක උජිත් අනුරාධ මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා, කළමණාකාර අධ්‍යක්ෂක වෛද්‍ය විල්ෆඩ් කුමාරසිරි මහතා ඇතුළු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂකවරුන්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 26 මාර්තු 2019 07:12

    Latest News