සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජයරත්න, චම්පා ජානකි රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කලේය.
පසුගිය 23 දා මෙම නඩුව විභාගයට ගත් විට විත්තිය ඉල්ලා සිටි ලේඛන ලබාදීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතරදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියේය.
නීතිපති වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ මෙවැනි අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට අයිතිවාසිකමක් නොමැති බවයි.
ඒ අනුව අද තීන්දුව ප්‍රකාශයට පත් කළ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා කියා සිටියේ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ විධිවිධානයන්ට අනුව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන්නේ ත්‍රිපුද්ගල මහධිකරණය විසින් දෙනු ලබන අවසානාත්මක නියෝගයක් සම්බන්ධයෙන් පමණක් බවයි .
එහෙත් ප්‍රශ්නගත අභියාචනය ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් පදනමක් නොමැති බව සඳහන් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ අනුව විත්තිකරුවන්ගේ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කලේය.
ඒ අනුව නඩු විභාගය නියමිත පරිදි මේ මස 7 දා සිට දින පතා පවත්වන බව විනිසුරු මඩුල්ල නියම කළා.
2014 වසරේ පෙබරවාරි සිට 2015 ජනවාරි 20 වනදා දක්වා ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.