නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට නියෝගයක්

සැප් 04, 2024
    නඩු දෙකකට පෙනී සිටීම සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44 කට අධික මුදලක් ලබාගෙන නිසි පරිදි පෙනී නොසිටීම තුළින් නීතිඥ සරත් විජේසිරි ද සිල්වා මහතා නීතිඥවරුන්ගේ ආචාර ධර්ම උල්ලංඝනය කර තිබෙන බවත් ඔහුගේ නීතිඥ භාවය අහෝසි කිරීමට තීරණය කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

    එසේම නීතිඥ භාවයෙන් නෙරපා හරිනු ලැබූ තැනැත්තා විසින් රුපියල් මිලියන තුනක වන්දියක් ඊයේ දින සිට මාස තුනක් ඇතුළත පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවත් එම නියෝගයේ සඳහන් වුණා.

    දිවුලපිටිය, වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අචල වෙංගප්පූලි, කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
    පැමිණිලිකාර හිමියන් කියා සිටින්නේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් තමන් වහන්සේ විසින් මිනුවන්ගොඩ සහ කුරුණෑගල දිසා අධිකරණ වල නඩු දෙකක් පවරා තිබූ බවයි.
    වග උත්තරකාර නීතිඥවරයා එම නඩුවලට පෙනී සිටීම සඳහා රුපියල් 4450000/-ක මුදලක් තමන් වහන්සේගෙන් ලබා ගත් බවත් ඉන් පසුව නිසි ආකාරයෙන් නඩු විභාගය සඳහා පෙනී නොසිටි බවත් පැමිණිලකාර හිමිනම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.
    මේ තුළින් තමන් වහන්සේට දැඩි අගතියක් සිදුවූ බවත් එම පැමිණිල්ලේ උන්වහන්සේ ප්‍රකාශ කළා.
    මෙම චෝදනාව සම්බන්ධයෙන් වග උත්තරකාර නීතිඥ වරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කෙරුණු අතර එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව ඔහු විසින් ප්‍රකාශ කළා.
    ඉන් අනතුරුව පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු තුරෙයි රාජා මහතා සඳහන් කළේ වග උත්තරකරු නීතිඥවරුන්ගේ ආචාර ධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන බවත් ඔහු නීතිඥ ධුරයක් දැරීමට නුසුදුසු පුද්ගලයකු බව නඩු විභාගයේදී අනාවරණය වූ බවත් සඳහන් කළා.
    ඒ අනුව ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට නියෝග කරන බවත් ඊයේ දින සිට මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 03 ක වන්දියක් වග උත්තරකරු විසින් පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවත් විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වුණා.
    Last modified on බදාදා, 04 සැප්තැම්බර් 2024 08:33

    Latest News