කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව යළි කල් යයි

සැප් 04, 2024
    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඇති නියෝගය බල රහිත කරන ලෙසත් තමන්ව මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම හතරවන වතාවටත් කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

    මෙම පෙත්සමේ නියෝගය ඊයේ දින අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

    එහෙත් පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නිවේදනය කළේ එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝම්බර් මස 03 වනදා දක්වා කල් තබන බවයි.
    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි මස 02 වනදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බව පෙත්සම්කරු පවසයි.
    ඒ අනුව තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් තමන්ව මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    Latest News