එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියට අධිකරණයෙන් ලැබුණු නියෝගය

සැප් 09, 2024
    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව එම නෞකාවේ කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී තිබෙන කට උත්තර වල පිටපත් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
     
    අදාළ නෞකා අනතුර හේතුවෙන් පීඩාවට පත් වූවන්ට වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, ධීවර ප්‍රජාව ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැපවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් මෙම දැනුම් දීම සිදු කළා.
     
    මෙම පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් දුන් නියෝගය පරිදි අදාළ නෞකා අනතුර සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුන් ප්‍රකාශ වල පිටපත් දැනටමත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව සඳහන් කළා.
     
    ඊට අමතරව සිද්ධියට අදාළව හාබර් මාස්ටර්වරයා ගේ සහ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරී වරයාගේ දිවුරුම් ප්‍රකාශ අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව සඳහන් කළා.
     
    එසේම මෙම අනතුරු හේතුවෙන් සිදුවූ හානිය සඳහා වන්දි අයකර ගැනීම වෙනුවෙන් එක්සත් රාජධානියේ  ගොනු කර තිබෙන නඩුවට අදාළ ලේඛනද මෙම අධිකරණය හමුවේ ගොනු කර තිබෙන බවත් සඳහන් කළා.
     
    වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙම සිද්ධිය හේතුවෙන් පීඩාවට පත් පුරවැසියන්ට මෙන්ම සියළු පාර්ශවයන්ට යුක්තිය ඉටුවන අයුරින් මෙම සිද්ධියට අදාළ නීති කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් සඳහන් කළා.
     
    මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් රාජධානිය හා සිංගප්පූරුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. 
     
    අදාල පෙත්සමේ වග උත්තරකාරියක ලෙස නම්කර සිටින සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපතිනි දර්ශනී ලහඳ පුර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාලව රජය විසින් කරුණු ඉදිරිපත් කිරීමේදී එකිනෙකට පරස්පර කරුණු මෙන්ම ඇතැම් වැදගත් කරුණු ඉදිරිපත් කිරීම මගහැරී තිබෙන බවත් සඳහන් කළා. 
     
    එබැවින් ඊට අදාල ලේඛන ගොනු කිරීම සඳහා තමන්ට කල් ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා. 
     
    එම කරුණු සලකා බැලූ පංච පුද්ගලික විනිසුරු මඩුල්ල අදාල ලේඛන මේ මස 23 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපතිනියට නියෝග කළා. 
     
    ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය නොවැම්බර් මස 5 වන දා තෙක් කල් තැබුණා.
     
     

    Latest News