වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයාගේ නඩුව සම්බන්ධයෙන් අධිකරණයෙන් ප්‍රකාශයක්

ඔක් 25, 2024
    අල්ලස් කොමිසම විසින් වරායා අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්ධු වික්‍රම ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා පත්‍රය මීළඟ නඩු දිනයට පෙර සංශෝධනය නොකරන්නේ නම් එම විත්තිකරුවන් නිදහස් කිරීමට සිදුවන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළා.
    අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මේ බව සඳහන් කර සිටියා.
    මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි නිසා ඒවා සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් එම කොමිසමට මීට පෙර පෙන්වා දී තිබුණා.
    එහෙත් අධිකරණයේ එම දැනුම්දීමට අනුකූලව එම කොමිසම විසින් චෝදනා සංශෝධනය නොකොට ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් මෙම නඩුවේ විත්තිකරුවන් නිදහස් කිරීමට සිදුවන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
    ඉන් අනතුරුව නඩුව නොවැම්බර් මස 08 වනදා කැඳවීමටද නියම වුණා.
    2014 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සේවකයින් 319 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරී වලින් ඉවත් කර වෙනත් කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් මිලියන 65 ක පාඩුවක් සිදු කළේ චෝදනා කරමින් ප්‍රියත් බන්ධු වික්‍රම මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News