ශ්‍රී ලන්කන් හිටපු ලොක්කාගේ ඊමේල් පරික්ෂාවට අවසර: පැමිණිල්ල තානාපති නිළධාරියෙකුගෙන්

ජූනි 14, 2019

    ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ඊමේල් දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝගයක් නිකුත් කෙරේ.

    තීරුබදු රහිතව මත්පැන් ගෙන්වීම සදහා ඇති කරගත් ගිවිසුම ප්‍රකාරව ක්‍රියා නොකිරීමෙන් රුපියල් මිලියන 400ක පාඩුවක් සිදු කිරිම සම්බන්ධ විමර්ශන සඳහා ඔහුගේ ඊමේල් ගිණුම් පරීක්ෂා කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.

    2012 වසරේදී රේඛීය අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව යාමෙන් 2012. 01. 25. දින එළැඹි ගිවිසුම අනුව කටයුතු කර නැතැයිද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
    ෆීනික්ස් ඩියූටි ෆ්‍රී සර්විස් යන සමාගම හරහා මේ මත්පැන් ගෙන්වා ඇති බව පොලිසිය අධිකරණයට කියා සිටියේය. කැනඩා තානාපති කාර්යාලයේ ජාතික පොලිස් කටයුතු පිළිබඳ උපදේශක රොක් බ්ලේර් මහතා 2016. 9. 28 දින සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දිණි.
    සිද්ධියට අදාළ විමර්ශන සිදු කර අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් වරයා එතෙක් නඩුව බහා තබන ලෙස නියෝග කළේය.

    Last modified on සිකුරාදා, 14 ජූනි 2019 17:50

    Latest News