Update: සියෝන් දේවස්ථානයේ පිළිසකර කිරීම ලබන නත්තලට පෙර (වීඩියෝ)

ජූනි 29, 2019

    පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත් වූ මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ පිළිසකර කටයුතු ලබන නත්තලට පෙර නිම කොට නත්තල් දේව මෙහෙය පැවැත්වීම සඳහා අවකාශ සලසා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා ඒ අදහස් පළ කළේ අද (29) උදෑසන මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේදීය.

    යුධ හමුදාව විසින් සිදු කරන ප්‍රතිසංස්කරණ කාර්යයන්හි ප්‍රගතිය පිළිබඳව විමසා බැලූ වික්‍රමසිංහ මහතා කඩිනමින් හා කාර්යක්‍ෂමව එම කාර්යයන් සිදු කරන හමුදා නිලධාරීන් හා සෙබළුන් වෙත සිය ප්‍රසාදය ද පළ කළේය. ප්‍රහාරයෙන් අනතුරට පත් පුද්ලයන්ගේ ශාරීරික හා මානසික හානි සුවපත් කරලීම සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ද අගමැතිවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කළේය.

    දේවස්ථාන පූජක රොෂාන් මහේෂ් මනෝෂන් දේවගැතිතුමන් පැවසූයේ මේ අවස්ථාවේ අගමැතිතුමන් ප්‍රමුඛ රජය දක්වන සහයෝගය හා ලබාදෙන ශක්තිය පිළිබඳව තමන් සිය බලවත් කෘතඥතාව පළ කර සිටින බවයි. සිද්ධිය වූ අවස්ථාවේ පටන්ම අගමැතිතුමන් මේ පළිබඳව විමසා බලමින් ගොඩනැගිලි හා ජීවිත යළි යථා තත්වයට පත් කරලීමේ ක්‍රියාවලිය සඳහා ලබා දුන් නායකත්වය මුළු මහත් ප්‍රජාවගේම ගෞරවයට හේතු වී ඇති බවද මනෝෂන් දේවගැතිතුමා පැවසීය.

    ඉන් අනතුරුව අගමැතිවරයා මඩකලපුවේ කතෝලික හා ඇන්ග්ලිකන් දේවස්ථාන වෙත ද ගොස් භාරකාර පියතුමන්ලා හමුවී සාකච්ඡා පැවැත්වීය.

    සියෝන් දේවස්ථානය නිරීක්ෂණයට අගමැති යයි - (12:25)

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ නිරීක්ෂණයට අද පෙරවරුවේ පැමිණියේය.

    ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට එහිදී උපදෙස් ලබා දුනි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මඩකලපුව සියෝන් දේවස්ථානයට ද දැඩි හානි සිදුවිය. එහි ඉදිකිරීම් මේ වන විට ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරේ. දේවස්ථානයේ ප්‍රධාන පියතුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ජාවකට ද අග්‍රාමාත්‍යතුමා සහභාගී විය.

     

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 19:40

    Latest News