හිටපු නි. පොලිස්පති හෙක්ටර් ධර්මසිරිට වසර 6ක සිර දඬුවම්

ජූලි 02, 2019

    රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර හයක සිරදඬුවමක් නියම කරයි.

    ග්‍රාමාරක්ෂක නිලධාරීන් යොදවා සිය පෞද්ගලික නිවස ඉදි කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කිරීීීීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර හයක සිරදඬුවමක් නියම කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම සිර දඬුවම වසර තුනකින් ගෙවී යා යුතු බව නියෝග කර ඇත.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම තීන්දුව අද(02) ලබා දී තිබේ.

    2007 වසරේ මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ අවධියේ එම ප්‍රදේශයේ සේවය කළ ග්‍රාමාරක්ෂක නිලධාරීන් යොදවා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි තම පෞද්ගලික නිවස ඉදිකර ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණ.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව චෝදනා 15 ක් අතුරින් චෝදනා 6 කට විත්තිකරු වරදකරු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔහුට වසර හයක ලිහිල් සිරදඬුවම් නියම කළ අතර එම දඬුවම වසර තුනකින් ගෙවිය යුතු බව නියම කර ඇත. ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 03 ක දඩයක් ද නියම කෙරිණ.

    මෙම දඬුවම්වලට එරෙහිව තම සේවාදායකයා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බවට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නීතිඥවරු දැනුම් දීමෙන් අනතුරුව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියම කර ඇත.

    Latest News