අත්අඩංගුවට පෙර ඇප ඉල්ලා කොටුව මහේස්ත්‍රාත්ට පෙත්සමක්

ජූලි 08, 2019

    ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගැනීමට පෙර ඇප මත මුදා හරින මෙන් ඉල්ලා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන්සිරි දිසානායක මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

    එම ඇප අයදුම්පත කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ සලකා බැලීමෙන් පසුව එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින රහස් පොලිසියේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු තිදෙනෙකුට ලබන 15 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන මෙන් දන්වා මහේස්ත්‍රාත්වරයා විසින් නොතීසි නිකුත් කර ඇත. පෙත්සම්කාර දිසානායක මහතා කියා සිටින්නේ ඇවන්ගාඩ් සමාගම විසින් ගාලු වරායේ පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් දා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් නිකුත් කර ඇති බවයි.

    ගාලු වරායේ අදාල පාවෙන අවි ගබඩාව තුළ අවි ආයුධ ගබඩා කර පවත්වාගෙන යාම සඳහා රජයේ අනුමැතිය හිමිව තිබූ බව සඳහන් කරන පෙත්සම්කාර දිසානායක මහතා තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on සදුදා, 08 ජූලි 2019 20:27

    Latest News