ආණ්ඩුව ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම්: බැංකු ණය පොලී මේ මස අඩු කරනවා

ජූලි 14, 2019

    බැංකු ණය පොලිය මේ මාසය අවසන් වනවිට 12% සිට 10% දක්වා අඩු කරන බවත් සංචාරකයින්ගේ පැමිණීම වැඩිවනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා ඇතුළු ආණ්ඩුව සූදානම් බව පැවසූ වික්‍රමසිංහ මහතා විපක්‍ෂය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළත්, එම විශ්වාසභංග යෝජනා විවාදයේදී පාර්ලීමේන්තුවේ ඝණ පූර්ණය තබා ගැනීමට පවා විපක්‍ෂයට නොහැකි වූ බව පෙන්වා දුනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමල, නගර සභා ක්‍රීඩාංගනයේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

     උත්සවයට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා.........

    මේ මාසය අවසන් වන විට බැංකු ණය පොලිය 12% සිට 10% දක්වා අඩු කිරීමට අප කටයුතු කර තිබෙනවා. මෙමගින් විශාල පිරිසකට සහනයක් සැලසෙනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ වසරේ මුලදී විදේශ සංචාරකයින් එක්ලක්‍ෂ හැට හයදහසක් ලංකාවට පැමිණියා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම සංඛ්‍යාව තිස් හත්දහස දක්වා අඩු වුණා. නමුත් ඉන්පසු රජය ගෙන ගිය කඩිනම් වැඩ පිළිවෙළ නිසා ජුනි මාසයේදී එම සංඛ්‍යාව හැට තුන්දහසක් දක්වා වැඩි වුණා. මේ මාසය අවසන් වන විට එය ලක්‍ෂයක් දක්වා වර්ධනය වන බව කිව යුතුයි. එමෙන්ම අගෝස්තු මාසය අවසන් වන විට මේ සංඛ්‍යාව එක්ලක්‍ෂ විසිපන්දහස දක්වා වැඩි කර ගැනීමට අප පියවර ගෙන තිබෙනවා. අපට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට අප සූදානම්. නමුත් විපක්‍ෂය තමන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳව පැවැති විවාදයේදී පාර්ලිමේන්තුවේ ඝණපූර්ණය තබා ගැනීමටවත් ඔවුන්ට නොහැකිව විපක්‍ෂය බංකොළොත් තත්ත්වයට පත් වුණා. පාස්කු ප්‍රහාරයෙන් පසු පවුල් ලක්‍ෂ 6කට සමෘද්ධිය ලබාදීමට අප පියවර ගත්තා. එමෙන්ම ඉඩම් ඔප්පු බෙදාදීම, ගුරු පත්වීම් ලබාදීම, මහා සංඝරත්නය සඳහා රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වාදීම ආදී සංවර්ධන කටයුතු රාශියක් ක්‍රියාත්මක කළා.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉඩම් සම්බන්ධව පොරොන්දු දෙකක් පසුගිය මැතිවරණයේදී ලබාදුන් පැවසු ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඒ පොරොන්දු ඉටු කරදීමට හැකිවී තිබෙන බව සඳහන් කළේය. පවුල් දස ලක්‍ෂයක් සඳහා ඉඩම් ඔප්පු ලබාදීමටත් වසර 10 ක් රජයේ ඉඩම්වල පදිංචිව සිටි සියලූ දෙනාටම එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබාදීමටත් පියවර ගෙන තිබෙන බව ඔහු කියා සිටියේය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබ්දුල්ලාහ් මහරුෆ්, ඉම්රාන් මහරුෆ්, එම්. එස්. තෞෆීක්, කේ. ධුරෙයි රත්නසිංගම්, සන්දිත් සමරසිංහ, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

     

     

     

     

     

    Last modified on ඉරිදා, 14 ජූලි 2019 20:09

    Latest News