"ගජ" ඉන්දියාව දෙසට

නොවැ 16, 2018

    නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ ගජ චණ්ඩ සුළි කුණාටුව, දකුණු ඉන්දියානු ගොඩබිම් තුළට ගමන් කරමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සුළි කුණාටුව දැනට පවතින්නේ, කන්කසන්තුරයට වයඹ දෙසින්.

    උතුරු සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි සහ සුළං තත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. ඒ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්. යාපනය අර්ධද්වීපය හරහා ඇතැම් විට තද සුළං සමඟ පැයට කිලෝමීටර 100ක ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මන්නාරම, පුත්තලම, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, කිලිනොච්චි, මුලතිව් හා වව්නියා දිස්ත්‍රික් හරහා ද තද සුළං හමනු ඇති.

    උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වන වෙරළාසන්න පහත්බිම්වල මුහුදු රළ ගොඩබිම්වලට පැමිණීමේ හැකියාවක් ද පවතී. එම මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඇතැම් විට මුහුද ඉතා රළු විය හැකියි. මේ පිළිබඳ ධීවර හා නාවුක ප්‍රජාවට අවධානයෙන් පසුවන ලෙස ද ඉල්ලීමක් කෙරේ.

     මේ අතර, ගජ සුළි කුණාටුවෙන් දකුණු ඉන්දියාවට බලපෑම් එල්ල වී තිබේ. තමිල්නාඩු ප්‍රාන්තයට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද ඉන්දියා බලධාරීන් පියවර ගත්තා. ඉන්දියාවේ දකුණු දිග තමිල්නාඩු වෙරළින් සුළි කුණාටුව ගොඩබිම්ට ඇතුළු වී තිබේ.

    ඒ සමඟ අධික වාර්ෂාපතනයක් හට ගැනුණි. නාගයි, තිරුවාරුර්, පුඩුකොට්ටායි, රාමනාදපුරම් ඇතුළු ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබේ. ඉදිරි දින කිහිපය සඳහා ජලය හා ආහාර ගබඩා කර තබා ගන්නා ලෙසයි, බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ. වෙරළාරක්ෂක, නාවික හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් ඇතුළු ආපදා කණ්ඩායම් සීරුවෙන් තබා ඇත්තේ හදිසි අවස්ථාවක දී සහන කටයුතු සඳහා යෙදවීමටයි. මානුෂවාදී ආධාර සඳහා රන්වීර් හා කන්ජාර් නාවික යාත්‍රා දෙක ද සූදානම් කර තිබේ.

    Last modified on සිකුරාදා, 16 නොවැම්බර් 2018 09:28

    Latest News