හලාවත පොලීසියේ 8කගේ වැඩ තහනම්

සැප් 17, 2019

    හලාවත මුලස්ථාන පොලීසියට අනුයුක්තව කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ රාජකාරි සිදු කළ පොලිස් නිලධාරින් අට දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

    මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ ස්ථානාධිපති ලෙස රාජකාරි සිදු කළ උප පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයින් 5ක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු ඇතුළු අටදෙනෙක්.

    පසුගිය 6 වැනිදා මෙම පිරිස වෙන්නප්පුව පොලිස් වසමේ හෝටලයක මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එහිද සැකකරුවන් 20කට වඩා වැඩි ප්‍රමාණයකින් 9 දෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් මුදාහැරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    මීට අමතරව සූදූ පිටියේ තිබු මුදල් හා සැකකරුවන් සන්තකයේ තිබු මුදල් අයථා ලෙස ලබාගෙන දුෂිත ක්‍රියාවක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම කරුණු මත, නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී විසින් විමර්ශන සිදු කර පසුව නිලධාරින්ගේ වැඩ තහනම් කළ බව පොලිස් නිවේදනයේ සඳහන් වේ.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 08:30

    Latest News