සංචාරක ක්ෂේත්‍රය නංවන්න අගමැතිගෙන් නව වැඩපිළිවෙළක්

නොවැ 24, 2018

    පසුගිය වසර තුන හමාරක කාලය තුල සංචාරක ක්ෂේත්‍රයේ සිදුවූ බලපෑම යථා තත්වයට පත් කොට ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙන වැදගත් ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය නැවත පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.


    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අගමැති කාර්යාලයේ ඊයේ දින සංචාරක කර්මාන්තයේ නියැලි වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් සමඟ පැවති විශේෂ සාකච්ජාවකදීයි. මේ වන විට සංචාරක ක්ෂේත්‍රය තුල උද්ගත වෙමින් පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය පිළිබඳව ඔවුන් මෙහි දී දීර්ඝ වශයෙන් අගමැතිතුමා දැනුවත් කරන ලදී.

    ඒ අනූව, අග්‍රාමාත්‍යතුමා මෙරට සංචාරක ක්ෂේත්‍රය පසුගිය කාලයේ පසුබෑමට හේතුවූ කරුණු පිළිබඳව හා විදේශ රටවල ශ්‍රී ලංකාව පිළිබඳව ගෙන ගිය ප්‍රචාරක කටයුතු වල තිබූ මන්දගාමී බව සම්බන්ධව ද අවධානය යොමු කරන ලදී.

    ඒ අනූව, සංචාරක කර්මාන්තය පිළිබඳව විදේශිකයන් අතර ආකර්ශනීය බවත් ඇති වන ආකාරයෙන් ප්‍රචාරක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    කලාපයේ අනෙකුත් රටවල් හා සංසංදනය කරන විට දැනට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ බදු අයකිරීම් පිළිබඳව ද මෙහි දී අගමැතිතුමාගේ විශේෂ අවධානය යොමු විය.

    එමෙන්ම, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ඇති කර ගැනීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන වැඩ සැලැස්මක් ඇති කිරීම පිළිබඳව ද මෙහි දී යෝජනා විය.

    මේ වන විට සංචාරක කර්මාන්තයට අදාළ හෝටල් විශාල ප්‍රමාණයක් වැසී ගෙන යන බැවින් එය වළක්වා ගැනීමට ඉක්මන් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරන ලදී.

    මෙම රැස්වීමට හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා, සංචාරක හා වනජීවී අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා, විදේශ සේවා කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාත ආරියසිංහ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම්, එස්.ආර්.ආටිගල මහතා සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතන සහ සංවිධාන වල නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

    Latest News