ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුව

නොවැ 21, 2019

    පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වනවා මෙන්ම, විපතට පත්වූවන්ට වහාම සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    ඒ සඳහා පත් කෙරෙන කමිටුවට, නියෝජිතයෙකු නම් කරන ලෙස ද ජනාධිපතිතුමා කාදිනල් හිමිපාණනන්ගෙන් අද ඉල්ලා සිටියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද පස්වරුවේ අගරදගුරු මැදුරේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටුවේය. ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, කාදිනල් හිමිපාණන් බැහැදුටු ප්‍රථම අවස්ථාව මෙයයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණ පිළිබඳව සෑහීමකට පත් නොවන බව කාදිනල් හිමිපාණන් ජනාධිපතිතුමාට කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ.....

    “පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 300ක් පමණ ජනතාවට තවම හරියට සාධාරණය ඉටු වී නැහැ. එම සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක් සිදුවෙලත් නැහැ. එම පරීක්‍ෂණ එක්තරා විදියට කාපට් එක යට හංගන්න උත්සහ කරල තියෙනවා. බෝම්බ ගැසීම, මිනිසුන් ඝාතනය කිරීමට තුඩුදුන් හැම කරුණක් ගැනම විග්‍රහ කළ යුතුයි. එම නිසා, ඔබතුමාගෙන් බලාපොරොත්තු වනවා එම ජනතාවට සාධාරණයක්“ යැයි කාදිනල් හිමිපාණෝ පැවසූහ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා....

    “මම දැනටමත් ක්‍රියාත්මක වෙලා තියෙනවා නැවත මේ රටේ මෙවැනි දේවල් සිදු නොවන්නට. විශේෂයෙන් අපේ හොඳම බුද්ධි නිලධාරීන්ට ක්‍රියා කරන්න පුළුවන් වෙලා තිබුණේ නැහැ. ඒක තමයි මූලිකම හේතුව. තවදුරටත් බුද්ධි තොරතුරු හොයලා අල්ලගත්ත නැති අය අල්ලගෙන ක්‍රියාත්මක වෙන්න කියල මම උපදෙස් දීලා තියෙනවා. ඔබවහන්සේගේ පැත්තෙන් මම පත්කළ කමිටුවට කෙනෙක් සම්බන්ධ කරනවානම් ඔබ වහන්සේටත් ඒ ගැන විශ්වාසයක් ඇති වෙනවානේ. ඒ ගැනත් මම ඉල්ලා සිටිනවා. ඒකයි මම තාම කමිටුවක් පත්කලේ නැත්තේ. මේ සාකච්ජාවෙන් පස්සේ ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමට මම කටයුතු කරනවා“ යැයි ජනාධිපතිතුමා පැවසීය.

    මේ අතර ශ්‍රී ලංකාවේ චීන ජනාධිපති එච්.ඊ. චෙන්ග් ෂුවාන් මහතා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවූහ. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

     

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 20:37

    Latest News