පාර්ලිමේන්තුව විසුරුවීම;තෙවැනි දිනටත් පෙත්සම් විභාගය අද

දෙසැ 06, 2018

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග, සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද පෙ.ව 10.30ට තෙවැනි දිනටත් විභාග කෙරේ.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රෙෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

    නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුලින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට චෝදනා එල්ල කර ඇති බව කියා සිටියේය. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුකම ව්‍යවස්ථාව 38 (2) (අ ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බවයි නීතිපතිවරයා පෙන්වා දුන්නේය. 

    ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතු බව ද පෙන්වා දුන් නීතිපතිවරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

    ඉන් අනතුරුව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කෙරිණ.

    අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූල ආකාරයට සිදුකර ඇති බවයි. ආණ්ඩුකම ව්‍යවස්ථාවෙ සිංහල පිටපතෙහි 62 (2) වගන්තිය ප්‍රකාරව යම් පාර්ලිමේන්තුවක් තේරී පත්වූ දින සිට එහි කාල සීමාව අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් ලබාදී තිබෙන බව මෙහිදී ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. 

    ඉන් අනතුරුව ඊයේ දිනට පෙත්සම් විභාගය අවසන් කෙරුණි.

    අනතුරුව තෙවැනි දිනය වන  අද දිනයේත් මැදිහත්කාර පාර්ශවයේ පිළිතුරු ලබාදීම සිදුකෙරේ.  එය අවසන් වීමෙන් අනතුරුව පෙත්සම්කරුවන් විසින් ප්‍රතිඋත්තර බැදීම ද අද දින සිදුකිරීමට නියමිතයි.

    ඒ අනූව, පෙත්සම තෙවැනි දිනට අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගයට ගැනීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 දෙසැම්බර් 2018 07:55

    Latest News