නවසීලන්ත දෙවන ඉනිම 231/2කයි

දෙසැ 27, 2018

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රයිස්චර්ච්හිදී අද දෙවැනි දිනටත් පැවැත්විණ.

    ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 104ක් ලබාගත් අතර, නවසීලන්ත පිල පළමු ඉනිමට ලකුණු 178ක් රැස් කළහ.

    අද දිනට ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 88ක් ලබා සිටියහ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අද ලබා ගැනීමට හැකි වූයේ, ලකුණු 16ක් පමණි. කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 10ක් ඇතුළත දැවී යාම කැපී පෙනින. දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියහ.

    වැඩිම ලකුණුලාභියා වෙමින් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 33කි. රොෂේන් සිල්වා ලකුණු 21ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 15ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බවුට් කඩුලු 6ක් බිඳහෙළීය. දිනය නිමා වන විට නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 231කි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 27 දෙසැම්බර් 2018 16:18

    Latest News