එකක් නම් ගොඩ

ජූනි 19, 2023

    එක්දින ක්‍රිකට් ලෝක ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ වූ පළමු තරගයෙන්ම ලකුණු 175ක පහසු ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව කණ්ඩායමට හැකි වුනා.


    කාසියේ වාසිය දිනූ එමීර් කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා මුල් පෙළ හා මැද පෙළ පිතිකරුවන් සාර්ථකව ලකුණු අතරට පැමිණෙමින් අර්ධ ශතක 4ක් වාර්තා කළා.

    පිත්තෙන් දස්කම් දැක්වූ පැතුම් නිස්සංක 57(73), දිමුත් කරුණාරත්න 52(54), කුසල් මෙන්ඩිස් 78(63), සමරවික්‍රම 73(64), චරිත් අසලංක 48* (23) ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 355ක යෝධ ලකුණු පුවරුවක් නිර්මාණය කර දුන්නා.

    අවසන් පන්දුවාර 10 දී ලකුණු 108ක් ශ්‍රී ලංකා පිතිකරුවන් රැස් කළා. පන්දු යැවීමේදී අලි නසීර් කඩුලු 2ක් බිඳ හෙළුවා. මුස්ටාෆා, ආයන් ඛාන් සහ හමීඩ් එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

    ඒ අනුව ජයග්‍රහණය සඳහා එක්සත් අරාබි ක්‍රීඩකයින්ට ලකුණු 356ක ඉලක්කයක් හිමිවුනා. නමුත් පන්දුවාර 39 කදී සියලු දෙනා දැවී ඔවුන් ලබා ගත්තේ ලකුණු 180ක් පමණයි. මුහම්මද් වසීම් හා ව්‍රිත්යා අරවින්ද් ලකුණු 39 බැගින් ලබා ගත්තා.

    තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ වනිදු හසරංග පන්දු වාර 8 කදී ලකුණු 24 කට කඩුලු 6ක් දවා ගත්තේ තම එක්දින ක්‍රිකට් දිවියේ කඩුලු 50 සීමාව ද පසු කරමින් වීම විශේෂත්වයක්.

    ළහිරු කුමාර, ධනන්ජය ද සිල්වා සහ මහේෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් දවා ගත්තා. තරගයේ වීරයා වනිදු හසරංග

    ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ඕමානය සමග එළඹෙන 23 වනදා පැවැත්වීමට නියමිතයි.

    Latest News