ජෝ බයිඩන් ජයග්‍රාහී කඩයිම වෙත....

නොවැ 07, 2020

    ජෝ බයිඩන් අමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහී කඩයිම වෙත ළඟාවෙමින් සිටී.

    දැනට ඡන්ද ගණන් කෙරෙමින් පවතින ප්‍රධාන ප්‍රාන්ත හතරේ වැඩි වාසිය ඩිමොක්‍රොටික් පක්‍ෂ අපේක්‍ෂකයාට හිමිවී ඇති බව, ප්‍රතිඵල සටහන් අනුව පෙනී යයි. අමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා පිළිබඳ අවසන් තීන්දුව සති අන්තයේ ද නොලැබෙන ලකුණු පළ වී තිබේ. තවමත් අපේක්‍ෂකයන් දෙදෙනාගේ ඡන්ද සටහන් වාර්තා වන්නේ, ඊයේ පැවති මට්ටමේමයි.

    එනම් ජෝ බයිඩන් 253ක් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් 213ක් වශයෙන්, ජයග්‍රහණය ලැබීමට නම් ඔවුන්ට ඡන්ද විද්‍යාල ඡන්ද 270 සීමාව ඉක්මවා යාමට සිදුවේ. පෙන්සිල්වේනියා හා ජෝර්ජියා ප්‍රාන්තවල ඡන්දය ගණන් කිරීම අඟහරුවාදා වනතෙක් ඇඳී යනු ඇති බව වාර්තා පළවේ.

    තැපැල් ඡන්ද පමාවී ලැබීම, විදෙස්ගත අමෙරිකානුවන් හා විශේෂයෙන්ම අමෙරිකානු හමුදා සෙබළුන් විසින් ප්‍රකාශ කරනු ලැබූ ඡන්ද මේ දක්වා නොලැබී තිබීම වැනි සාධක පමාවට හේතුවී තිබේ.

    පමාවී ලැබෙන ඡන්ද ප්‍රති‍ක්ෂේපකරණ ලෙසට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කළත් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය එය ප්‍රතික්ෂේපකර තිබේ. වඩාත්ම උණුසුම් තත්වයක් පවතින පෙන්සිල්වේනියාවේ ඡන්ද අනූදහසක සංඛ්‍යාවක් ගණන් කිරීමට ඉතිරිව තිබෙන බව වාර්තාවේ. ජෝර්ජියාවේ එම සංඛ්‍යාව 12,000ක් තරම් අඩු සංඛ්‍යාවක්.

    ඇරිසෝනා ප්‍රාන්තයේ ගණන් කිරීමට ඇති ඡන්ද සංඛ්‍යාව එක් ලක්‍ෂ 73,000කට අධිකයි. නෙවාඩාහි ඡන්ද එක් ලක්‍ෂ 24,000ක් පමණ ගණන් කිරීමට තිබෙන බව වාර්තාවේ. ඇතැම් තැපැල් ඡන්ද තොග මෙම සංඛ්‍යාවට අයත් නොවන බව ද මැතිවරණ නිලධාරීන් සඳහන් කළේය. ජෝ බයිඩන් අද සිය ආධාරකරුවන් අමතා විශේෂ ප්‍රකාශයක් කළේ, ඔවුන් දිරිමත් කිරීමේ අපේක්‍ෂාවෙන්.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි අවධාරණය කරන්නේ ඡන්දය ගණන් කිරීමේ ක්‍රියාවලිය දෝෂ සහගත බවයි. ඔහු ජෝර්ජියා හා පෙන්සිල්වේනියා ප්‍රාන්තවල ඡන්ද යළි ගණන් කරන ලෙසට ඉල්ලීමක් කර තිබේ.

    සාමාන්‍යයෙන් අපේක්‍ෂකයන් දෙදෙනා අතරේ පරතරය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 0.5%ක් වැනි ආසන්න මට්ටමක තිබෙන අවස්ථාවක යළි ගණන් කිරීමක් ඉල්ලා සිටීමට ඉඩකඩ පවතී.

    ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ නීතිඥ කණ්ඩායම සමඟ එක්ව දීර්ඝ නීති සටනකට සූදානම් වන බව, මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    නොසන්සුන් වූ දේශපාලන ආධාරකරුවන් මේ වනවිට ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණවලට පෙළඹ සිටී. මේ වනවිට ප්‍රාන්ත කිහිපයකම ගැටුම් වාර්තා විය. උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම් මෙන්ම කඩසාප්පු කොල්ලකෑම් ද වාර්තාවේ.

    ඡන්ද ප්‍රතිඵල ගණන් කිරීමේ පමාව අමෙරිකානු වැසියන්ගේ සමච්චලයට ලක්ව තිබේ. ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ උපහාසාත්මක දෑ පළ කිරීමට පටන් අරන්. සුටෝපියා කාටුන් චිත්‍රපටයේ ස්ලෝත්ගේ චරිතය මන්දගාමී ඡන්ද සංකේතවත් කිරීමට යොදාගෙන තිබේ.

    Latest News