1996 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකර ගෙන අදට (17) වසර 25ක්.

මාර් 17, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ 1996 කියන්නේ කාටවත්ම අමතක නොවන වසරක්.

    එම වසරේ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සුවිශේෂිතම රටක් බවට, ලෝකයටම පෙන්නුම් කිරීමට සමත් වුණා. 1996 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකර ගෙන අදට (17) වසර 25ක්. පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයට අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා තිබුණා.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ මාර්ක් ටේලර් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. ශ්‍රී ලංකාව තම ක්‍රිකට් ඉතිහාසයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙසයි මෙය වාර්තා වන්නේ.

    රැස්ව සිටි අතිවිශාල ප්‍රේක්‍ෂකයින්ගේ ඔල්වරසන් මධ්‍යයේ ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජය ගනිමින් ඔස්ට්‍රේලියාවට පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නා. ඔස්ට්‍රේලියාවට පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 241ක් රැස් කළා. මාර්ක් ටේලර් ලකුණු 74ක් සහ රිකී පොන්ටින් ලකුණු 45ක් ලබාගත්තා. පන්දු යැවීමේදී අරවින්ද ද සිල්වා ලකුණු 42කට කඩුලු 03යි. සනත් ජයසුරිය, කුමාර් ධර්මසේන, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

    ලකුණු 242ක ඉලක්කයක් හඹා යමින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, සනත් ජයසුරිය සහ රොමේෂ් කලුවිතාරණ. ආරම්භක පිතිකරු සබඳතාව ලකුණු 12ක් වනවිට සනත් ලකුණු 09කටත්, දෙවැනි කඩුල්ල ලෙස කලුවිතාරණ ලකුණු 06කටත් දැවී ගියා.

    අනතුරුව, අසංක ගුරුසිංහ සහ අරවින්ද ද සිල්වා තුන්වැනි කඩුල්ලට ලකුණු 125ක සබඳතාවක් ගොඩනැගුවා. ගුරුසිංහ ලකුණු 65කට දැවී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ නායක අර්ජුන රණතුංග සහ උපනායක අරවින්ද ද සිල්වා විසින්.

    අරවින්ද නොදැවී ලකුණු 107ක් රැස් කළා. නායක අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47ක් රැස් කරමින් තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කළේ ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරලමින්. තරගයේ වීරයා ලෙස අරවින්ද ද සිල්වාත්, තරගාවලියේ වීරයා ලෙස සනත් ජයසූරියත් සම්මාන දිනාගත්තා.

    ක්‍රීඩා විකාශයන්හි මෙරට ප්‍රමුඛයා වන ජාතික රූපවාහිනිය 1996 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මීට වසර 25කට පෙර සජීව ලෙස විකාශය කළා. එහි අවසන් මහා තරගය මෙන්ම අනෙකුත් තරගයන්හි නිල දර්ශනවල මෙරට හිමිකරුවා වන්නේ ද ජාතික රූපවාහිනියයි.

    Latest News