අමෙරිකාව කොරෝනා මරණ සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවයි

අගෝ 18, 2021

    අමෙරිකාවේ ඊයේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවා ගියේය.

    ඒ, පසුගිය මාර්තු මාසයෙන් පසු එරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි. ලොව අනෙකුත් රටවල් මෙන්ම අමෙරිකාවද, ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව තිබේ. එරට සෞඛ්‍ය අංශ පවසන්නේ, ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන්ගේ සංණ්‍යාව 98.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාවේ ද සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන අතර, පසුගිය මාසයේ දී දිනකදී වාර්තා වූ මරණවල සාමාන්‍ය අගය 769ක්.

    පසුගිය ජනවාරි හා පෙබරවාරි මාසවලින් පසු එරටින් වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මේ මාසයේ. වැඩිම කොරෝනා රෝගීන් පිරිසක් හමුවන්නේ එන්නත්කරණය මන්දගාමී ප්‍රාන්තවලින් බව සෞඛ්‍ය අංශ පවසයි.

    එරට ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුච් ප්‍රකාශ කළේ, කොරෝනා ව්‍යාප්තියේ යම් ඉහළ යාමක් පෙන්නුම් කළ ද, එරට බහුතරයක් ජනතාව කොරෝනා මර්දන එන්නත් ලබාගැනීම නිසා නැවතත් අඟුලු දැමීමේ ක්‍රියාවලියකට යාමට අවශ්‍ය නොවන බවයි.

    අඟුලු දැමීමේ සීමා දැනට පවත්නා ආර්ථිකය යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට බලපෑමක් සිදු කළ හැකි බව එරට බලධාරීන් පවසයි.

    Last modified on බදාදා, 18 අගෝස්තු 2021 20:00

    Latest News