බුර්කා නීතිය කැඩූ ඇෆ්ගන් කතක් ඝාතනය කෙරේ

අගෝ 18, 2021

    හිස් ආවරණයක් නොමැතිව මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් තලෙයිබාන් සංවිධානය විසින් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර තිබේ.

    නමුත්, ඔවුන් ඊයේ ලොවටම කියා සිටියේ, කාන්තා අයිතිවාසිකම් සුරකින බවයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ඇෆ්ගනිස්තානයේ ටබාර් ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. ඝාතනය වූ කාන්තාව බුර්කාවක් නොමැතිව මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර, සංචාරයේ යෙදී සිටි තලෙයිබාන් භටයින් විසින් ඇයට වෙඩි තබා තිබේ.

    තලෙයිබාන් ත්‍රස්තයින් මේ වනවිට අමෙරිකානු හමුදාවට සහ ඇෆ්ගන් රජය වෙනුවෙන් සේවය කළ නිලධාරින් සොයා මෙහෙයුම් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇෆ්ගනිස්තානයේ නගරවලින් නිරතුරුව වෙඩි හඬවල් ඇසෙන බව වාර්තාවේ. ඊයේ තලෙයිබාන් සංවිධානය මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් සඳහන් කර සිටියේ, තම පාලනයක් යටතේ කාන්තා අයිතිවාසිකම් සහ මාධ්‍ය නිදහස ආරක්‍ෂා කරන බවයි.

    කෙසේ වෙතත්, එම ප්‍රකාශය නිකුත් කර දිනක් ඇතුළත මෙවන් සිදුවීමක් වාර්තාවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පවසන්නේ, තලෙයිබාන් ත්‍රස්තවාදීන් යළිත් පැරණි තත්වයටම පත්වෙමින් පවතින බවයි. අමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානය යටත් කර ගැනීමට පෙර ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට හිමිව තිබුණේ, ඉතා දුක්ඛිත තත්වයක්.

    කාන්තාවන්ට කිසිම අවස්ථාවක පිරිමියෙක් සමඟ හැර නිවසින් බැහැරට යාමට හැකියාව තිබුණේ නැහැ. එසේම, කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට හෝ රැකියාවල නිරතවීමට කිසිසේත් ඉඩක් ලැබුණේ නැහැ.

    මේ වනවිටත් එම තත්වය කෙමෙන්, කෙමෙන් උද්ගත වෙමින් පවතින බව, මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ අතර ජලාලාබාද් නගරයේ තලේබාන් ත්‍රස්තවාදීන් විසින් එරට ජාතික කොඩිය ඉවත් කර ඔවුන්ගේ සංවිධානයේ කොඩිය එසවීමට යාමේදි ජනතාව ඊට දැඩි විරෝධයක් පළ කර තිබේ. එහිදී ත්‍රස්තවාදීන් විසින් ඊට විරුද්ධ වූ තිදෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් වෙඩි තබා මරා දමා තිබේ. වෙඩි ප්‍රහාරයෙන් තවත් 15ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තාවේ.

    එසේම එම අවස්ථාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට ත්‍රස්තවාදීන් පහර දී ඇති බවත්, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ, තලෙයිබාන් සංවිධානයේ නායකයින් කුමක් සඳහන් කළ ද ප්‍රාදේශීය මට්ටමේ කාඩර්වරුන් එම නියෝගය පිළිනොපදින බවයි.

    Latest News