බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85 දක්වා ඉහළට...

ජන 22, 2022

    ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    සැපයුම අවමවීම, මීට හේතුවයි. ඉදිරි සති කිහිපයේද මෙම තත්වය පැවතිය හැකි බවයි, වෙළඳපොල විශ්ලේෂකයින් පවසන්නේ. ඔම්ක්‍රෝන් ප්‍රභේදය, ලෝක සංචාරක ව්‍යාපාරය, මූල්‍ය හා ව්‍යාපාර ආයතනවලට වැඩි බලපෑමක් එල්ල කලේ නැහැ. එබැවින්, එකවරම ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් ඉල්ලුම ඉහල ගියා. මේ හේතුවෙන් නිෂ්පාදනවල හිඟතාවක් දක්නට ලැබුණා.

    නයිජීරියාව, ඉක්වදෝරය, ලිබියාව හා කසකස්ථානය යන රටවල සිවිල් දේශපාලනය අස්ථාවරවීම ද ඛනිජ තෙල් නිෂ්පාදනයට බලපා තිබෙනවා. එමෙන්ම ඉරාකයේ සිට තුර්කිය දක්වා ඇති ඉන්ධන නලය ද තාවකාලිකව වසා තිබෙනවා. රුසියාවේ බහු දේශපාලනික ගැටලු වර්ධනයවීම ද නිෂ්පාදනයට බෙහෙවින් බලපෑවා. හවුති කරැලිකරුවන්, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන ට්‍රක් රථ 03කට හා ගුවන් යානා ඉන්ධන ගබඩාවකට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉන්ධන නිෂ්පාදනයට හා සැපයුමට බලපෑම් එල්ල වුණා.

    ලෝඩ්මන් සැක්ස් පර්යේෂණ ආයතනය පවසන්නේ ලබන වසරේදී ලෝක වෙළඳපොලේ බොරතෙල් නිෂ්පාදනය සමතුලිතවීමට පෙර බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බවයි. මේ අතර, අත්ලාන්තික් කවුන්සිලයේ ගෝලීය බලශක්ති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රීඩ් බැක්මෝ ප්‍රකාශ කළේ, දැනට පවතින මිලෙහි අඩුවීමක් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි බවයි.

    Latest News