ජෝ බයිඩන් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියානු ජනපති සමග සාකච්ඡා කිරීමට එකඟවේ....

පෙබ 21, 2022

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡාමය සමුළුවක් පැවැත්වීමට එකඟතාවය පළකර තිබෙනවා.

    ඒ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පසුගියදා කළ යෝජනාවකට අනුවයි. ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ,  අමෙරිකාව අදාළ සාකච්ඡා සඳහා එළඹෙන්නේ රුසියාව සිය අසල්වැසි යුක්‍රේණය ආක්‍රමණයට පියවර නොගතහොත් පමණක් බවයි. මෙලෙස සාකච්ඡා වට පැවැත්වීම මගින් දරුණුතම ආරක්ෂක අර්බුදය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළඹීමට හැකිවනු ඇති බව බටහිර රාජ්‍ය නායකයින්ගේ අදහසයි.

    සිය බුද්ධි අංශ තොරතුරු වලට අනුව රුසියාව මිලිටරි මෙහෙයුමකට සූදානම්වන බවත්, එසේ වුවහොත් රුසියාවට දරුණු ප්‍රතිවිපාක වලටද මුහුණ දීමට සිදුවනු ඇති බවත් අමෙරිකාව පවසනවා. මේ අතර, අමෙරිකානු සමාගමක් වන මැක්සාර් සමාගම ප්‍රකාශ කරන්නේ, නවතම චන්ද්‍රිකා ඡායාරූප මගින් යුක්‍රේන දේශසීමා ආශ්‍රිතව සිටින රුසියානු ආයුධ සන්නද්ධ භටපිරිස්වල දැඩී සූදානමක් පෙන්නුම් කරන බවයි.

    රුසියාව මෙම ප්‍රකාශය දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කිරීම විශේෂත්වයක්. අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොච් අතර එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත හමුවේදී යෝජිත සමුළුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ප්‍රංශ බලධාරින් පවසනවා.

    Latest News