“සෞභාග්‍යා ගෙවත්ත” සාර්ථකව ක්‍රියාත්මකයි (වීඩියෝ)

අප්‍රේ 05, 2020
  • “සෞභාග්‍යා ගෙවත්ත” ගෙවතු වගාව යටතේ බීජ බෙදාදීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මකයි.

    කොවිඩ් දහනවය රෝගය ලොව පුරා ව්‍යාප්තවීම හේතුවෙන් ඉදිරි කාලසීමාවේදී ඒ ඒ රටවල වගාබිම් සේම ආහාර නිෂ්පාදනය දැඩි අවදානමකට ලක්ව තිබේ. ඒ තත්වය සැලකිල්ලට ගත් රජය ආහාර ජාතික වැඩසටහන පිළිබඳ කාර්ය සාධන බලකායේ නිර්දේශ යටතේ බෝග වර්ග 14ක් කඩිනමින් රටේ ප්‍රචලිත කිරීමට පියවර ගෙන ඇත.

    අම්පාර දිස්ත්‍රික්කයේ ගෙවතු 6,000ක් සඳහා බීජ බෙදාදීම අද සිදු කෙරිණ. ඒ, අම්පාර නවගම්පුර ග්‍රාමසේවා වසමේදී. ඉදිරි දිනවලදී ගොවිජන සේවා සංවර්ධන නිලධාරීන් බීජ බෙදාදීම සිදු කරනු ඇත.

    හැටන් ප්‍රදේශවාසීන්ට බීජ පැකට්ටු බෙදාදීම අද සිදු කෙරිණ. ගොවිජන සේවා නිලධාරීන්ගේ සහය ඊට හිමිවිය.

    අනුරාධපුර, මිරිසවැටිය පූජා භූමි පරිශ්‍රයේ වගාව නොකඩවා සිදු කෙරේ. එහි අස්වැන්න නෙලීම දැන් සිදු කෙරේ. විහාරස්ථාන පරිශ්‍රයේ කැලි කසළ ප්‍රතිචක්‍රීය කොට, කොම්පෝස්ට් නිපදවීමෙන් වගාවට අවශ්‍ය පොහොර සපයා ගැනේ.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා පවුල් 35,000ක් පමණ ගෙවතු වගාව ආරම්භ කර තිබේ. එළඹෙන සතියේ දී ඔවුන්ට අවශ්‍ය බීජ ලබාදෙනු ඇත.

    බෝග වගා කිරීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් ද මේ දිනවල භූමිය සකස් කරමින් සිටී. වැලිකන්ද, දිඹුලාගල, මැදිරිගිරිය, ලංකාපුර, ඇළහැර, හිඟුරක්ගොඩ, තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව ව්‍යාපෘතියට එක්ව සිටී. බඩඉරිඟු, කව්පි, මුංඇට, තල, කුරහන්, අමුමිරිස්, අමු කහ ඇතුළු එළවළු බෝග වගා කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ.

    “සෞභාග්‍යා” ගෙවතු වගා වැඩසටහන යටතේ, බීජ වර්ග 05ක් අඩංගු පැකට් සහ පැළ බඳුන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට බාරදීම අද සිදු කෙරිණ. ග්‍රාම සේවා වසමකින් තෝරාගත් ගෙවතු 30ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත්. දිවයිනේ ගෙවතු දස ලක්‍ෂයක් වගා කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.

    Latest News