ශ්‍රි ලංකා - රුසියා මිත්‍රත්වයට නැව් 03 ක්

දෙසැ 20, 2018

    රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු විය.

    එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.

    වර්යාග් නෞකාව දිගින් මීටර් 187 කින් යුක්ත වන අතර, නිලධාරින් සහ නාවිකයින් 529 දෙනෙකුගෙන් සමන්විත නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි. අද්මිරාල් පැන්ට්ලීවි නෞකාව දිගින් මීටර් 162.8 කින් සහ නිලධාරින් සහ නාවිකයින් 388 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ. තවද, බෝරිස් බටෝමා නෞකාවේ නිලධාරින් සහ නාවිකයින් 75 දෙනෙකුගෙන් යුක්ත වන අතර, එහි දිග මිටර් 161.1 කි.

    නෞකාවන් දිවයිනට සේන්දු වීමෙන් අනතුරුව බලඝණ ආඥාපති, රියර් අද්මිරාල් එඩ්වඩ් මිහායිලෝව් මහතා එහි අණදෙන නිලධාරීන් වන කපිතාන් යුරේවිච් උල්යැන්කෝ මහතා, කපිතාන් විටැලිවිච් ඇන්ට්සිෆීරෝ මහතා සහ කපිතාන් ඇලෙක්සැන්ඩෝවිච් බොන්ඩා යන මහත්වරුන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

    සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් එළබෙන දෙසැම්බර් 24 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතයි. දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීම මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිතව තිබේ.

    russiaship23 px 900 18 12 20.jpg copy

    Latest News