නව ආණ්ඩුවෙන් 2500 සිට 10,000ට පඩි වැඩුනේ මෙහෙමයි

ජන 10, 2019

    රාජ්‍ය සේවක මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500ත් 10,000ත් අතර මුදලකින් ඉහළ දැමෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    2015 වසරේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම වසරේ දී සියලු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප අවමය රුපියල් 2,500 සිට උපරිමය රුපියල් 10,000 දක්වා වැඩි වනු ඇති.රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 යටතේ 2006 වසරේ දී රාජ්‍ය සේවක පඩි වැඩි කිරීමෙන් පසුව 2016 දක්වා කිසිදු මූලික වැටුපේ වැඩි වීමක් ලබා දී නොමැත.

    2015 දී බලයට පත් වූ වත්මන් රජය රුපියල් 10,000ක දීමනාවක් 2015 වසරේ දී ලබා දුන් අතර එය රජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 යටතේ 2016 වසරේ සිට 2020 වසර දක්වා අදියර පහකින් මූලික වැටුපට ප්‍රතිශතයක් වශයෙන් එකතු කිරීමට තීරණය කෙරිණි.

    එනම් රුපියල් 10,000 මුදල මූලික වැටුපට එකතු කරනුයේ රාජ්‍ය අංශයේ පහළ ශ්‍රේණියේ සහ ඉහළ ශ්‍රේණියේ වැටුප් අතර පවතින එකට හතර අනුපාතය අනුවය.ඒ අනුව 2015 ජනවාරි මස සිට 2019 ජනවාරි මස දක්වා ගෙවී ගිය වසර හතරක කාලය තුළ රාජ්‍ය සේවයේ සියලු කාර්ය මණ්ඩලයේ මූලික වැටුප 86%කින් ඉහළ ගොස් තිබේ.

    2015 ජනවාරි මස 01 දින වන විට මෙරට ප්‍රාථමික මට්ටමේ රාජ්‍ය සේවකයාගේ අවම මූලික වැටුප වූයේ රුපියල් 11, 730ක් ලෙස ය.එය මේ වසරේ ජනවාරි මස 01 වැනි දා රුපියල් 21,746 දක්වා වැඩි වනු ඇත. අලුතෙන් පත්වීම් ලබන ප්‍රාථමික මට්ටමේ සේවකයකුගේ ආරම්භක මූලික වැටුප වන මෙය ගිය වසරට සාපේක්ෂව රුපියල් 2,500ක වැටුප් වැඩි වීමකි.

    එමෙන්ම මධ්‍යම මට්ටමේ නිලධාරියකුගේ මූලික වැටුප රුපියල් 3,000කින් පමණ ද විධායක නිලධාරියකුගේ මූලික වැටුප රුපියල් 10,000කින් පමණ ද මෙම වසරේ සිට වැඩිවේ. මේ අනුව රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ 2015 වසරේ පැවැති රුපියල් 11,730ක් වූ මූලික වැටුප 2020 ජනවාරි වන විට 107%ක ප්‍රතිශතයකින් රුපියල් 24,250 දක්වා වැඩි වනු ඇත.2016 වසරේ දී ආරම්භ කරන ලද අදියරෙන් අදියර වැටුප් වැඩිවීමේ ක්‍රමවේදය 2020 දී අවසන් වනු ඇත.

    2020 වැටුප් වැඩිවීමත් සමග ලක්ෂ 14ක් පමණ වන රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප 2015 වසරට සාපේක්ෂව 107%කින් වැඩි වනු ඇත. මෙයට අමතරව සියලු රාජ්යව සේවකයන්ට රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාවක් ද ලැබෙනු ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 13:10

    Latest News