මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් අද (21) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති වැඩසටහන අමතමිනි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීමට 1984 අංකය ගාස්තු රහිත කෙටි දුරකථන අංකයක් හඳුන්වාදීමට ද ජනාධිපතිතුමා මෙහිදී සිදුකළේය. ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තම ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ වී තිබෙන බවයි. ඒ සඳහා ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළඟදීම දිවයිනට පැමිණීමට නියමිතයි.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට බියේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගන්නා දැඩි තීන්දු තීරණ වෙනස් නොකරන බව ද ඔහු කියා සිටියේය. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහි ව ගන්නා දැඩි තීන්දු තීරණවලට එරෙහිව ඇතැම් මානව හිමිකම් සංවිධාන හඬ නැගුව ද මෙම ව්‍යසනය හේතුවෙන් රටට, ජාතියට සහ දරුවන්ගේ අනාගතයට සිදුවන විනාශය පිළිබඳ ඔවුන් අවධානය යොමු නොකරන බවත් රටට සිදුවන මෙම විනාශය පිළිබඳ එම සියලූදෙනා වගකිවයුතු බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින අනෙකුත් පාර්ශ්වයන් පිළිබඳව තොරතුරු ද තමා රටට හෙළි කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ලබන 28 වනදා දක්වා ක්‍රියාවට නංවා තිබෙන අතර ඒ යටතේ ප්‍රධාන වැඩසටහනක් ලෙස ජනවාරි 21 වනදා සිට 25 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ක්‍රියාත්මක කෙරේ. එහි සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ දී පැවැත්වුණේ යාපනයේ දිස්ත්‍රික්කයේ පාසල්වල සිසුන් එක් ලක්ෂ පනස්දහසක් උදෑසන ශිෂ්‍ය රැස්වීමේ දී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකාවට ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළේ දී පාසල් දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබේ. මේ යටතේ ජනවාරි 21 වැනි දා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පන්ති කාමර තුළ දරුවන් දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් ද, ජනවාරි 22 වැනි දා මවුපියන් පාසල වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමඟ සිදු කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ද, ජනවාරි 23 වැනි දා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද සිදු කරනු ලබයි. ජනවාරි 24 වැනි දා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන ද, ජනවාරි 25 වැනි දා විවිධ ජනමාධ්‍ය භාවිත කරමින් පාසල් තුළ හා පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ ප්‍රචලිත කිරිම හා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන ද, ජනවාරි 26 වැනිදා ස්වේච්ඡා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් ඇතුළු වැඩසටහන් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එමෙන් ම ජනවාරි 27 වැනිදා ආගමික ස්ථාන හා දහම් පාසල් හරහා මත්ද්‍රව්‍ය නිවාරණ සිදුවේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සමාජයට පණිවිඩයක් ලබාදීමට හොඳම පණිවිඩකරුවා පාසල් දරුවා බවයි. එබැවින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ දී පාසල් සිසුන් ඊට සක්‍රීයව දායක කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.