ත්‍රිරෝද රථවලට නව අධිකාරියක් (වීඩියෝ)

ජන 21, 2019
  • මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව, ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    ඒ අනුව එම අධිකාරිය යටතට ත්‍රිරෝද රථ නියාමනයත් ඇතුලත් කිරීමට නියමිතයි. රාගම නගරය ත්‍රීවිල් නියාමන කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනට අද (21) උදෑසන එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ මෙහෙයවීමෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

    ත්‍රීරෝද රථ නියාමන කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන පළමු වරට ආරම්භ කෙරුණේ කොළඹ දිස්ත්‍රික්කයේදීය. එහි දෙවැනි වැඩසටහන අද රාගමදී පැවැත්විණි. ඒ යටතේ රාගම නගරයේ ත්‍රීරෝද රථ රියදුරන්ට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වාදීම, වසර 25කට වැඩි කාලයක් අඛණ්ඩ සේවාවක නිරත වූ ත්‍රීරෝද රථ රියදුරන් ඇගයීමට ලක් කිරිම, රාගම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨතම ත්‍රීරෝද රථ රියදුරු ඇගයිමද අද සිදු විය. සංචාරක ත්‍රීරෝද රථ රියදුරන් 50දෙනෙකුට අවසර පත් ලබා දීම,  එම වැඩසටහනේ සිදුවූ තවත් විශේෂත්වය සිදුවීමකි. ඔවුන්ට නිල ඇඳුම් ප්‍රදානයද එහි දී සිදු කෙරිණ. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කි‍යා සිටියේ ත්‍රීරෝද රථ නියාමනය යනු එම කර්මාන්තය අපහසුතාවයට පත් කිරමින් නීති පැනවීම නොවන බවයි.

    “ත්‍රිරෝද රථ නියාමනය ත්‍රිරෝද රථ සංගම් බොහෝ කාලයක සිට කරන ඉල්ලීමක්. මේ කර්මාන්තය ඉදිරි පැවැත්මට නම් එය අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු බව මමත් විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔවුන්ත්‍ සම්බන්ධයෙන් ජනතාව තුළ තිබෙන ආකල්පය වෙනස් කළ යුතුයි. මෙවැනි තත්ත්වයකට අද සමාජය ගිහින් තියෙන්නේ ඉතාම අතොලොස්සක් වූ ත්‍රීරෝද රථ රියදුරන් කරන වැරදි නිසා. කර්මාන්තය කඩා නොපවතින්නට නම් මේ වැරදි ඉක්මනින්ම අපි හදා ගත යුතුයි. ඒ නිසා තමයි මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාව ඉදිරියේදී අධිකාරියක් කිරිමට මම අපේක්ෂා කරන්නේ. ඒ සඳහා අවශ්‍ය නීතිමය කෙටුම්පත් බොහෝ දුරට හදලා අවසන්. තව මාසයක් දෙකක් ඇතුලත මම මේ සභාව අධිකාරියක් බවට පත් කිරිමට අවශ්‍ය කටයුතු අවසන් කරනවා....” යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

    ත්‍රීරෝද රථ නියාමන කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ගොඩනගමු මඟ සුරකින සමාජයක් යන තේමාව යටතේ වන අතර ත්‍රීරෝද රථ රියදුරන්ගේ ජීවන තත්ත්වය ඉහළ ගෙන ඒමත් ගුණාත්මක සේවාවක් ඇති කිරීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මෙම අවස්ථාවට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 21:10

    Latest News