චීනයෙන් සහල් ටොන් 5,000ක් මෙරටට

ජූනි 29, 2022

     චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගයක් දීමට එරට රජය විසින් තීරණය කර තිබේ.

    ඒ අනුව, එහි පළමු තොගය වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක් අද මෙරටට ළඟා වූ අතර චීන තානාපති කාර්යාල නියෝජිතයන් විසින් මෙම සහල් තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දෙන ලදී.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ රටක් වශයෙන් මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය තුළ චීන රජය විසින් ශ්‍රී ලංකාවට දෙනු ලබන සහාය අගය කරනු ලබන බවයි.

    එමෙන්ම දෙරට අතර අතීතයේ සිටම පවතින සහයෝගිතාව හා අවංක මිත්‍රශීලීත්වය තුළ දෙරට අතර අවබෝධය තවදුරටත් තීව්‍ර වනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.

    මෙම සහල් තොගය පාසල් දරුවන් වෙනුවෙන් ආහාර දීමේ වැඩසටහනට යොදා ගනු ලබන බවත් ඒ අනුව දරුවන් පාසල් වෙත යොමු කරවා ගැනීමෙන් අධ්‍යාපන අවශ්‍යතාව මෙන්ම පෝෂණ අවශ්‍යතාව ද සපුරනු ලබන බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

    චීන රජය නියෝජනය කරමින් සහභාගී වූ මෙරට චීන තානාපති කි-සෙන්හොං මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී වාතාවරණය තුළ හැකි සෑම ආකාරයකින්ම චීනයේ සහයෝගය ශ්‍රී ලංකාවට දෙනු ලබන බවයි.

    Last modified on බදාදා, 29 ජූනි 2022 11:01

    Latest News